Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රධානම බෞද්ධ උත්සවයක් නවතා 'සියලු මුදල්' රෝහින්ග්‍යා වැසියන්ට 




බංග්ලාදේශයේ ප්‍රධානම බෞද්ධ සංවිධානයක් මියන්මාරයේ රෝහින්ග්‍යා වැසියන් මුහුණ දී සිටින ඉරණම හේතුවෙන් සිය රටේ වෙසෙන බෞද්ධයන්ගේ දෙවැනි විශාලතම උත්සවය මේ වසරේ නොපැවැත්වීමට තීරණය කරන ලද බව නිවේදනය කර තිබෙනවා.


වෛවර්ණ 'ෆනුෂ්' පහන් කූඩු ගුවනේ පාකරමින් වාර්ෂිකව පවත්වන 'ප්‍රබරණ පූර්ණිමා' උළෙල නොපවත්වා, ඒ සඳහා වැයවන මුදල් සහ බෞද්ධයන්ගෙන් තවත් ආධාර එකතු කොට එම මුදල් රෝහින්ග්‍යා අනාථයන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් යෙදවීමට තීරණය කරන ලද බව බංග්ලාදේශ එක්සත් බෞද්ධ සංසදයේ සභාපති අශෝක් බරුවා සඳහන් කළ බවයි බීබීසී වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ.

මිලියන 162 ක ජනගහනයක් වෙසෙන බංග්ලාදේශයේ බහුතර ජනතාව ඉස්ලාම් භක්තිකයන් වන අතර මිලියන 2.5 ක් පමණ බෞද්ධයෝ ද එහි වාසය කරනු ලබනවා.

එය රටේ ජනගහනයෙන් 1.5% කට ආසන්න ප්‍රතිශතයක් වනවා.

එම බෞද්ධයන් නියෝජනය කරන බොහෝ සංවිධාන තිබෙන අතර, ඒ අතරින් ප්‍රධානම බෞද්ධ සංවිධාන තුන ඒකමතිකව මෙම තීරණයට එළඹුණු බවත් අශෝක් බරුවා වැඩි දුරටත් බීබීසී වෙත සඳහන් කර තිබෙනවා.