Friday, April 19, 2024

General line - 0115112241

මෙරට අධිකරණ පද්ධතිය ගැන අලුත් වාර්තාවක් එළියට

සමන්ත කුමාර




මෙරට මහාධිකරණවල දී විභාග වන බරපතල අපරාධ පිළිබඳ නඩු විභාග කර අවසන් කිරීමට ගතවන සාමාන්‍ය කාලය වසර 10ක් ඉක්මවන බව අපරාධ යුක්තිය පසිදලීම කඩිනම් කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාවක් අනාවරණ කරනවා.

පසුගියදා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෛතික කටයුතු හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවයි.

එම වාර්තාවට අනුව බරපතල අපරාධ වරදක් සිදු වන දිනයේ සිට එම නඩුව මහාධිකරණයේ දී විභාග කර අවසන් වන දිනය අතර කාලයේ සාමාන්‍ය අගය වසර 10.02ක්.

වරද සිදු කළ දිනය සහ අධි චෝදනාව මහාධිකරණයට ගොනු කිරීම අතර සාමාන්‍ය කාලය වසර 04ක් ඉක්මවන බවයි එම වාර්තාව අනාවරණ කරන්නේ.

තවද මහාධිකරණයේ විභාග වන නඩුවකින් පසු අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති අභියාචනා අවස්ථා දෙක අවසන් වීම සඳහා තවත් වසර 07ක පමණ කාලයක් සාමාන්‍යයෙන් ගතවන බවද අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව මෙරට අධිකරණ පද්ධතිය තුළ අපරාධ යුක්තිය පසිඳලීමේ සම්පූර්ණ ක‍්‍රියාවලියට සාමාන්‍යයෙන් වසර 17ක් ගතවන බවයි නෛතික කටයුතු හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අනාවරණ කර ඇත්තේ.

සංකීර්ණ කරුණු සහිත ලේඛන විශාල ප‍්‍රමාණයක් සහ සාක්ෂිකරුවන් විශාල ප‍්‍රමාණයක් සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අල්ලස, දූෂණය සහ මුදල් විශුද්ධිකරණය වැනි චෝදනා සහිත නඩු කටයුතුවල මෙවැනි ප‍්‍රමාදයක් ඇති වන බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

පවතින නඩු කටයුතු ප‍්‍රමාදය අවම කිරීමට මහාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 110ක් දක්වා වැඩි කිරීම, අලුතින් මහාධිකරණ 10ක් ඇති කිරීම ඇතුළු තවත් යෝජනා රාශියක් ද එම වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.