Thursday, March 28, 2024

General line - 0115112241

අමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවට සමීප වෙයි




අමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර මෑත සති කිහිපය තුළ වාග් සංග්‍රාමය උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරය සමීපයට පියාසර කළ බව පෙන්ටගනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

21 වෙනි සියවසේ දී ඕනෑම අමෙරිකානු ප්‍රහාරක යානයක් උතුරු කොරියානු වෙරළේ සටන් මුක්ත කළාපයේ උතුරු ප්‍රදේශයේ පියාසර කළ සමීපම අවස්ථාව මෙය බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඕනෑම තර්ජනයක් පරාජය කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් සතුව විවිධ හමුදා ක්‍රියාමාර්ග තිබෙන බව ප්‍රදර්ශනය කිරීම උතුරු කොරියාව සමීපයට ප්‍රහාරක යානා පිටත් කිරීමේ අරමුණ බවයි පෙන්ටගනය පවසා ඇත්තේ.

සැප්තැම්බර් මස 19 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිය පළමු කතාව සිදු කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ තමන්ගේ හෝ සිය සගයන්ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් අමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව විනාශ කර දමනු ඇති බවයි.

අමෙරිකා එක්සත් ජනපදය එම නිවේදනය කළේ උතුරු කොරියාවේ විදේශ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා සිය දේශනය පැවැත්වීමට නියමිතව තිබියදීයි.