Friday, March 29, 2024

General line - 0115112241

ආපදා තත්ත්වයකදී භාවිතා කළ හැකි බැටරි බැක් පැක් එකක් හඳුන්වාදෙයි




හදිසි ආපදා අවස්ථාවන්වලදී භාවිතා කළ හැකි විශේෂිත බැටරි බැක් පැක් එකක් මෙරටට හඳුන්වා දීමට ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් කටයුතු කර තිබෙනවා.

පසිඳු පල්ලාවෙල නැමැති මෙම ඉංජිනේරුවා එක්සත් රාජධානියේ පිහිටා ඇති Power Migration Partners Ltd හි අධ්‍යක්ෂවරයායි.

ලංකාවේ පසුගිය කාලයේ විවිධ ආපදා තත්ත්වයන් වාර්තා වූ අතර ඉන් ගංවතුර ආපදා තත්ත්වය වඩාත් ඛේදනීය අන්දමින් මෙරට ජනතාවට බලපෑවා.

රට තුළ ගංවතුර ආපදා තත්ත්වයන් ඇති වන අවස්ථාවකදී අදාළ ප්‍රදේශයන් තුළ ආරක්ෂක පියවරක් වශයෙන් විදුලිය විසන්ධි කිරීමක් සිදු කෙරෙනවා. එවිට ආපදා කළමණාකරණය කර ගැනීමට හෝ ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා විදුලි උපාංග භාවිතා කිරීම අර්බුදකාරී තත්ත්වයන්ට පත් වෙනවා.

ඒ පිළිබඳ සැළකිල්ලක් දක්වමින් මෙම විශේෂිත බැටරි බැක් පැක් එක නිෂ්පාදනය කර ඇති අතර එය අත්හදා බැලීමේ පළමු නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරට සමාජ සේවා සංවිධානයක් වෙත ප්‍රධානය කිරීම අද (24) පෙරවරු 11:00 වත්තලදී සිදු කෙරෙනවා.

මේ තුළින් ජංගම දුරකතනයක් චාර්ජ් කිරීමේ සිට ශිතකරණයක් සඳහා විදුලිය සැපයීම දක්වා ඕනෑම විදුලියෙන් පණ ගැන්වෙන ක්‍රියාවක් සිදු කිරීම සහ පවත්වාගෙන යෑමට හැකි වනවා.

මෙම බැටරි බැක් පැක් එකේ පේටන්ට් අයිතිය ලබාගෙන ඇති පසිදු පවසන්නේ මෙම ශ්‍රී ලංකාවට අවශ්‍ය ලෙස නවීකරණය කිරීම සඳහා කැළණිය විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලය සහයෝගය ලබාදුන් බවයි.

ශරීරයේ එල්ලාගෙන ඕනෑම දුරක් ගමන් කළ හැකි ඉතා සැහැල්ලු මෙම බැටරි බැක් පැක් එක ජලය රැඳී ඇති පරීශ්‍රයන් තුළදී වුවද ඉතා ආරක්ෂාකාරී ලෙස භාවිතා කළ හැකිවීමද විශේෂිතයි.

කිලෝවොට් 05ක ශක්තියක් ගබඩා කර ඇති මෙම බැටරි බැක් පැක් එක තුළ වොට් 230ක ධාරිතාවක් මුදා හරිනවා. ඒ අනුව සාමාන්‍ය නිවසක් තුළ විදුලිය භාවිතා කරන ආකාරයටම මෙම බැටරි බැක් පැක් එකට දිනක් ආවරණය කිරීමේ හැකියාව තිබෙනවා. 

මෙම යළි චාර්ජ් කිරීමේදී සූර්ය ශක්තිය, සුළං ශක්තිය, ජෙනරේටරයක් මගින් හෝ සාමාන්‍ය විදුලිබලයෙන් එය පහසුවෙන් සිදු කරගත හැකි වීමද විශේෂත්වයක්.

මෙය භාවිතා කිරීමේදී ශබ්දයක්, දුමක් හෝ කම්පනයවීමක් ද සිදු වන්නේ නැහැ. නිෂ්පාදකයින් පවසන්නේ මෙම බැටරි බැක් පැක් එකේ ජීව කාලය වසර 10ක් පමණ වන බවයි.