Friday, April 26, 2024

General line - 0115112241

නව බදු පනතින් ඒක පුද්ගල ආයතන හා ආදායම් ලබන පුද්ගලයන්ට බදු වදින්නේ මෙහෙමයි




ඒක පුද්ගල ආයතන හා ආදායම් ලබන පුද්ගලයන් හට තම වාර්ෂික ලාභයෙන් ලක්ෂ පහ දක්වා නව බදු පනතින් බදු නිදහස ලැබෙනවා.

ඉන් ඔබ්බට ලබන ලාභයෙන් ලක්ෂ 6 දක්වා 4% බැගින්ද, ඊලඟ ලක්ෂ 6 දක්වා 8% බැඟින් ද  බදු අය කරනු ලැබෙනවා. එසේ ලක්ෂ 6 බැගින් වැඩිවන සෑම කොටසකටම ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය 4% බැඟින් වැඩි වනු ඇති. 

මෙම ආදායම් බදු ක්‍රමය තම ව්‍යාපාර මත ලාභ ලබන ඒක පුද්ගල ආයතන හා ආදායම් ලබන අනෙකුත් සියළු පුද්ගලයන් හට එක හා සමාන ලෙස බලපවත්වනු ඇති.

මෙම නව බදු ක්‍රමය 2018 අප්‍රේල් 01 වැනි බදු වසරේ සිට ක්‍රියාවට නැංවෙනවා.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක බදු පනත යටතේ බදු අය කිරීම සංකීර්ණ වී ඇති අතර විවිධ ක්ෂේත්‍රයන් සඳහා විවිධ බදු සහන හා බදු විරාම කිසිඳු තාර්කිකත්වයකින් තොරව ලබා දීම හේතුවෙන් ආදායම් විෂමතාවයක් ඇති වී තිබූ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

මෙය හේතුවෙන් සමාජයේ උපරිම ආදායම් ලබන ජනගහනයෙන් 20% ජන කොටස ආර්ථිකයේ 54% ප්‍රතිලාභ බුක්ති විදින ආකාරයට ආදායම් ප්‍රතිලාභ බෙදීයාමේ විෂමතාවයක් පවතින බවත් සඳහන් කරනවා.

බදු ක්‍රමය සරල කර විවිධ ක්ෂේත්‍රයන් අනුව වෙන් වෙන් වශයෙන් ලබා දී තිබූ බදු සහන අහෝසි කර සියළුම පුරවැසියන් සමාන ලෙස සලකා ඔවුන්ගේ ආදායම් මට්ටම අනුව බදු අය කිරීමට ඇති ක්‍රමවේදයක් මෙම නව බදු පනත මඟින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම බදු පනත යටතේ මින් ඉදිරියට බදු අය කරනු ලබන්නේ ද බදු සහන හිමි වන්නේ ද පුරවැසියන්ගේ සමාජ මට්ටම හෝ වෘත්තීය ක්ෂේත්‍රය අනුව නොව ඔවුන්ගෙන් සිදු කරනු ලබන ආර්ථික ක්‍රියාකාරීත්වය හරහා ඔවුන් ලබන ආදායම හා ලාභය පදනම් කරගෙන බවට මෙම නව පනත හරහා රජ්‍ය ප්‍රතිපත්තිය යහපාලන මූලධර්මවලට අනුකූලව සකස් කර තිබෙනවා.

ඉතිහාසයේ කිසිඳු දිනක සිදු නොවූ පරිදි ජනාධිපතිවරයාගෙන්ද බදු අය කරන ප්‍රතිපත්තියක් ආරම්භ කිරීමට නියමිත පසුබිම යටතේ කිසිඳු පාර්ශ්වයකට විශේෂ සැලකිලි හෝ සහන අක්‍රමික අයුරින් නව බදු පනත මඟින් හිමි වන්නේ නැහැ.

තවද ඉදිරියට තම ආයෝජන සඳහා සියල්ලන්ටම සමාන ලෙස විනිවිදභාවයෙන් යුක්තව බදු සහන ලබාගැනීම සඳහා අදාළ බදු පනතේ නිශ්චිතව අර්ථ නිරූපනය කර ඇති බැවින් සමාජය තුළ ආදායම් විෂමතාවයන් ඇති වීම වළක්වා යහපාලන මූලධර්මයන් මුදුන්පත් කර ගැනීමට මෙම නව බදු පනත ඉවහල් වනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

-------------------------------------------

නව බදු පනතින් කලාකරුවන්ට සහනයක්

(24-09-2017 09:51)

නව බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ සාහිත්‍ය, සංගීත, වේදිකා හා සිනමා ක්ෂේත්‍ර ඇතුළුව කලා ක්ෂේත්‍රයේ නිරත වූවන් යම් නිෂ්පාදන කටයුත්තක් හෝ කලා නිර්මාණයක් සිදු කරන අවස්ථාවන්හී දි එවැනි නිර්මාණවලින් ලබන වාර්ෂික ශුද්ධ ලාභය රු. ලක්ෂ පහක් දක්වා බදු නිදහස ලැබෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ඒ අනුව තම නිර්මාණ වෙනුවෙන් නිර්මාණකරුවාට ගෙවිය යුතු පඩි නඩි හෝ අනෙකුත් ගෙවීම් ඇතුළුව කතෘභාග සඳහා ද පිරිවැය දැරීමෙන් පසුව එම නිර්මාණවලින් ලබන ශුද්ධ ලාභය ලක්ෂ 5 දක්වා ආදායම් බදුවලින් නිදහස් කෙරෙනවා.

කලා ක්ෂේත්‍රයේ නිරතවූවන් සඳහා මෙතෙක් විශේෂිත ආකාරයට ලබා දී තිබූ බදු සහන හා විරාම වෙනුවට ආදායම් ලබන, බදු ගෙවිය හැකි සියළු පුරවැසියන්ගෙන් ආදායම් බදු අය කරන ක්‍රමයට කලා කරුවන්ගෙන්ද බදු අයකරනු ලැබෙන බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.