Thursday, March 28, 2024

General line - 0115112241

අඟුරු සිත්තම මොනා ලීසා කටුසිතුවම බවට තොරතුරු අනාවරණය වෙයි (PHOTO)




පැරිස් අගනුවර 'ලූව්රේ ' කෞතුකාගාරයේ වසර 150 කට අධික කාලයක් සංරක්ෂණක කර තිබු නිරුවත් කාන්තාවකගේ උඩුකය දැක්වෙන අඟුරු සිත්තම ඉතාලි ජාතික ලියනාර්ඩෝ ඩා වින්සිගේ කලා නිර්මාණයක් බව විද්‍යාඥයන් සනාථ කර තිබෙනවා.

 

විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව එය ඩා වින්සි කලාකරුවා 'මොනා ලීසා' සිතුවම තෙල් සායමින් නිම කිරීමට පෙර අඳින ලද එහි දළ සැකසුම ලෙස  හඳුනාෙගෙන ඇති බවයි 'ලූව්රේ ' කෞතුකාගාරය පවසන්නේ.

 

නිරුවත් කාන්තාවකගේ උඩුකය දැක්වෙන අඟුරු සිත්තමක් 'මොනා ලීසා' ලෝක ප්‍රකට සිතුවමේ මූලික දළ සටහන ලෙස ප්‍රංශයේ කලා විද්වතුන් විසින් තහවුරු කර ඇති අතර එය නිල වශයෙන් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

එම අඟුරු සිත්තම මෙතෙක් නම් කර තිබුණේ 'මොනා වන්නා' යනුවෙන්.

 

මෙම සිතුවම 1862 වසරේ පටන් වසර 150 කට අධික කාලයක් තැන්පත් කරනු ලැබ තිබුණේ ද පැරිස් අගනුවර 'ලූව්රේ ' කෞතුකාගාරයේ බව සඳහන්.

 

එම සිත්තමෙහි 'මොනා ලීසා' සිතුවමේ දැක්වෙන කාන්තා රුවට සමාන ඉරියව්වෙන් රේඛාගත කරන ලද කාන්තා රුවක් දැක්වෙන අතර එහි වෙනසක් වුයේ එය නිරුවත් කාන්තා උඩු කයක් වීම පමණයි.

ඩා වින්සි ගේ 'මොනා ලීසා' දැනට ලෝකයට ඉතිරිව ඇති මහා පිළිගැනීමක් මෙන්ම මූල්‍ය වටිනාකමක් සහිත ඓතිහාසික කලා නිර්මාණ අතලොස්ස අතර මුල් තැන හිමිකර ගනු ලබන ඉතාලි පුනරුද සමයේ බිහි වූ සිතුවමක්.

 

'මොනා ලීසා' නිර්මාණය වුණේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ නිලධාරියකු මෙන්ම රෙදිපිළි වෙළෙන්දකුව සිටි ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ගියෝකොන්දෝගේ ඇණවුමකින් ඔහුගේ බිරිඳ වූ ලීසා ගෙරාර්දිනීගේ උඩුකය සිතුවමට නැගීමේ උවමනාව නිසා යයි විශ්වාස කෙරෙනවා.

 

මොනා වන්නා' සිතුවම ඩා වින්සිගේ කාලයට අයත් බව පරීක්ෂණ මගින් තහවුරුව ඇති බව 'ලූව්රේ '  කෞතුකාගාරයේ සංරක්ෂණ විශේෂඥයකු වන බෘනෝ මොටිං  විසින් තහවුරු කරනු ලැබුවා.

 

මෙම සිතුවම් දෙක එකම ප්‍රමාණයකින් යුක්ත වන අතරම අත් සහ සිරුරේ ඉරියව් නිවුන් රූ දෙකක මෙන් අතිශයින් සමාන වනවා.