Friday, April 19, 2024

General line - 0115112241

ඊයේ ජංගම පොල් රථ ගිය පැතිවල අද පොල් මිලට වෙච්ච දේ

සුපෙම් මානගේ




දිනෙන් දින ඉහළ යන පොල් මිලට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය ගෙනා විසඳුමෙන් මේ වන විට කොළඹ පොල් මිල සෙලවීමකට ලක්ව තිබෙනවා.

ඉකුත් 02 වැනිදා මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. මෙහිදී එක් අයෙකුට පොල් ගෙඩි 10ක් බැගින් ලබා ගැනීමටද අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුව ජංගම රථ මගින් ජනතාව වෙත ගොස් රුපියල් 65 ක මිලකට පොල් අලෙවි කිරීමේ මෙම ව්‍යාපෘතිය ඊයේ (03) දිනයේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වුණා.

එහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට එම ප්‍රදේශවල විකිණෙන පොල් මිල රුපියල් 60ත් 70ත් අතර අගයකට පැමිණ ඇති බවයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල nethnews.lk වෙත කියා සිටියේ.

ඊයේ දිනයේදි එම ප්‍රදේශවල පොල්ගෙඩි 70,000 ක් අලෙවි වී තිබුණා. මෙහෙයුම් වියදම් ලෙස එක පොල් ගෙඩියකින් රුපියල් 5ක මුදලක් තබා ගත් බවද සඳහන් කළා.

වෙළඳපොළෙහි ඇති පොල් එකාධිකාරිය බිඳ දැමීම සඳහා මෙම වැඩපිළිවෙළ දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

අද (04) සිට මෙම ව්‍යාපෘතිය කොළඹින් පිටපළාත්වලද ක්‍රියාත්ම කිරීමට සැළසුම් කර තිබෙනවා. අද දිනයේ සිට සතොස අලෙවිසැල් හරහාද මෙම පොල් ජනතාවට මිලදී ගත හැකියි. ව්‍යාපෘතියේ ඉලක්කය පොල් ගෙඩි ලක්ෂ 10ක් අලෙවි කිරීමයි.

මේ අතර පොල් අලෙවි කිරීමේදී මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳුන්ට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය සමඟ එක්ව ක්‍රියාකරන බවද පොල් වගා කිරීමේ මණ්ඩලය ප්‍රකාශ කළා.