Thursday, April 25, 2024

General line - 0115112241

හම්බන්තොටදී අත්අඩංගුවට ගත් 28ක් රිමාන්ඩ්! විත්තියේ නීතීඥගෙන් පොලිසියට චෝදනා (UPDATE)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට 




මත්තල ගුවන් තොටුපොල ඉන්දියාවට බදුදීමට එරෙහිව හම්බන්තොට ඊයේ (06) පැවති උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් 28 දෙනා මේ මස 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, හම්බන්තොට මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න හමුව ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

සැකකරුවන් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණේ ඊයේ රාති‍්‍ර 10.30 ට පමණය. සැකකරුවන් වීරවිල පොලීසියට රැගෙන ගොස් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට හම්බන්තොට රෝහලට රැගෙන ගොස් තිබෙනවා. එහෙත් එම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා නොසිටි හේතුවෙන් සැකකරුවන් යළි තිස්සමහාරාම රෝහල වෙත රැගෙන ගොස් එහි ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කෙරුණා.

පසුව මහේස්ත‍්‍රාත්වරයාගේ නිල නිවස වෙත ගෙන ගොස් අදාළ නීතිමය කටයුතු සිදුකර අවසන්වනවිට රාතී‍්‍ර 11.30 පමණ වූ බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. ඉන්පසු මෙම සැකකරුවන් තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි චමින්ද සූරියපටබැදි පැවසුවේ තිස්සමහාරාම රෝහලේ ශල්‍ය වෛද්‍යවරයා හමුවට සැකකරුවන් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ඔවුන් හම්බන්තොට මහරෝහලට ඇතුළත් කරන ලෙස එම වෛද්‍යවරයා නිර්දේශ කළ බවයි. එම නියෝගය නොතකමින් පොලීසිය කටයුතු කළ බවද නීතිඥ චමින්ද සූරියපටබැදි පැවසුවා.

 

 

------------------------------------------------------------------------------------------

හම්බන්තොට විරෝධය පෑ කාන්තාවන් 08 ක් පිරිමින් 20 ක් පොලිස් කූඩුවේ

06-10-2017 14:50

මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද (06) හම්බන්තොට දී ආරම්භ කළ විරෝධය මේ වන විට පාලනය කර ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව විරෝධතාකරුවන් 28 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 20 දෙනෙකු සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

 

--------------------------

හම්බන්තොට විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක්! විරෝධතාකරුවන් අත්අඩංගුවට 

(06-10-2017 12:44)

හම්බන්තොට පිහිටි ඉන්දියානු කොන්සල් ජෙනරාල් කාර්යාලයට ඇතුළුවීමට විරෝධතාකරුවන් උත්සාහ කිරීමේදී එය වලාකාළමින් කඳුළු ගෑස් ප්‍රහාරයක් පොලිසිය විසින් එල්ල කර තිබෙනවා. විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

-----------------------------------------------------------------

හම්බන්තොට විරෝධතාවය ඇරඹෙයි

06-10-2017 11:24

වරාය සහ ගුවන්තොටුපොළ විකිනීමට විරෝධය පාමින් අද (06) හම්බන්තොට නගරයේ මහජන විරෝධතාවක් පැවැත්වෙනවා. හම්බන්තොට අධිකරණය කලාපය තුල අද දින උද්ඝෝෂණ වාරණය කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත්කර තිබෙනවා. ඒ මහජන පීඩාකාරී විරෝධතා ව්‍යාපර නොපවත්වන ලෙසටය.

විරෝධතාකරුවන් අතර හිටපු අමාත්‍යවරුන් වන, මහාචාර්ය ජී.එල් පීරිස්, මහින්ද යාපා අබේවර්ධන, නාමල් රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ, අරුන්දික ප්‍රනාන්දු, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිනවා.

 

-------------------------------------------------------------------

හම්බන්තොටට දැඩි පොලිස් ආරක්ෂාවක්! විරෝධතාවය 10ට 

06-10-2017 09:23

හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ විකිනීමට විරෝධය පාමින් අද (06) හම්බන්තොට නගරයේ පැවැත්වීමට නියමිත විරෝධතාවය, අධිකරණ නියෝගයකින් වලකා තිබෙනවා. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක ඇතුළු සංවිධායකයින් පවසා සිටින්නේ තම විරෝධතාව සූදානම් කරගත් පරිදි සිදුකෙරෙනා බවයි.

ඒ හේතුවෙන් මේ වන විට හම්බන්තොට හා ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ඇතුළුව දහසකට අධික පොලිස් නිලධාරීන් කැඳවා තිබෙනවා.

  විරෝධතාවය උදෑසන 10 ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි විරෝධතාවයේ සංවිධායකයින් පැවසුවේ.