Saturday, April 20, 2024

General line - 0115112241

සිදත් - රොජර් - මහානාම - මුරලි - මහේල එකතුවෙලා ක්‍රිකට් පොඩ්ඩෝ ගොඩ ගන්න යයි (PHOTOS)




සිදත් වෙත්තමුණි, රොජර් විජේසූරිය, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම සහ මහේල ජයවර්ධන පාසල් ක්‍රිකට් ගොඩනැඟීමේ කටයුත්තට එක්වී සිටිනවා.

ඒ අනුව මෙම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කමිටු වාර්තාව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත භාර දෙනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා පාසල් මට්ටමින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (06) අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

ඒ වෙනුවෙන් මීට පෙර සාකච්ඡා වට දෙකක් පැවති අතර මූලික වශයෙන් ගැටලු හඳුනාගැනීම සහ ගැටළු විසඳාගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පසුගිය සාකච්ඡාවල අරමුණ වුණා.

පසුගිය මස දොළොස්වෙනි දා පැවති එහි දෙවන සාකච්ඡා වටයේදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කිරීමද සිදුවුණා.

ඒ ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය දිගුකාලීන සහ කෙටිකාලීන ඉලක්කයන්ගෙන් සමන්විත වැඩසටහනක් සකස් කිරීමේ අරමුණින්.

ඒ අනුව එලෙස සකස් කරන ලද කමිටු වාර්තාව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත බාරදීම අද සිදුකෙරුණා.

මේ අවස්ථාවට රොෂාන් මහනාම, මුත්තයියා මුරලිදරන්,සිදත් වෙත්තමුනි, රොජර් විජේසූරිය, මහේල ජයවර්ධන, ජයන්ත සෙනවිරත්න, කාල්ටන් බර්නාඩ් යන පිරිස මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.