Saturday, April 20, 2024

General line - 0115112241

මූල්‍ය වංචාවට අත්අඩංගුවට ගත් ලිට්‍රෝ සභාපතිට පළමු දඬුවම ලැබෙයි! (UPDATE)




මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ ලිට්‍රෝ සමාගමේ විධායක සභාපතිවරයා ලෙස දැරූ බලතල සියල්ල අත්හිටුවීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය ව්‍යවසාය  සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසුරියට දන්වා තිබෙනවා.

ලිට්‍රෝ සමාගම පාලනය වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේය. සමාගම සඳහා වැඩබලන සභාපතිවරයකු පත්කරන ලෙසද ලේකම්වරයා අදාල ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

මේවනවිට අදාල සැකකරු ලබන 25දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටිනවා. තායිවානයේ බැංකුව පරිගනක පද්ධතියට ඇතුළුවී මූල්‍ය වංචාවක් කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්ව තිබෙනවා.

-------------------------------------

ශලීල මුණසිංහ යළි රිමාන්ඩ් 

11-10-2017 11:08

අත්අඩංගුවට ගෙන අද (11) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ශලීල මුණසිංහ මේ මස 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

තායිවානයේ බැංකුවක පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

------------------------------------

ශලිල මුණසිංහ හෙට දක්වා රිමාන්ඩ් (UPDATE) 

(10-10-2017 17:17)

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ හෙට (11) දක්වා බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (10)  නියෝග කළා.

ඒ තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවට සයිබර් ප්‍රහාරයක් කර වංචා සහගත ලෙස මුදල් හුවමාරු කිරීම සම්බන්ධය චෝදනාවකටයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශලිල මුණසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබුවා.

--------------------------

ශලිල මුණසිංහගේ ගණුදෙනුව හා  ලිට්ට්‍රෝ ගෑස් සමාගම අතර සම්බන්ධයක් නෑ (10-10-2017 15:33)

ලිට්ට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ විසින් සිදුකළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් වූ ගණුදෙනුව පිළිබඳව සමාගමේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ලිට්ට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් ඒ සම්බන්ධයෙන් සිය හවුල්කාර සමාගම් මෙන්න මහජනතාවටත් මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

රජයේ අයිතිය යටතේ පවතින ලිට්ට්‍රෝ ගෑස් ලංකා සමාගම දැඩි නියාමක රාමුවක් යටතේ තම ව්‍යාපාරික කටයුතු සිදුකර සමාගමක් බවයි පෙන්වා දී තිබෙන්නේ.

එමෙන්ම තමන්  අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වන විධිමත් ව්‍යාපාරික හා ගිණුම්කරණ පටිපාටීන් අනුගමනය කරන ආයතනයක් බව ද නිවේදනයක් ලිට්ට්‍රෝ ගෑස් ලංකා සමාගම අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශලිල මුණසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබුණා.

-------------------------------

ගෑස් සමාගමක සභාපතිවරයෙක් අත්අඩංගුවට (09-10-2017 20:38)

රජයට අයත් ගෑස් සමාගමක සභාපති වන ශලිල මුණසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  විසින් අද (09) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

හෙට (10)  දිනයේ දී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

------------------------------

තායිවාන බැංකු කොල්ලය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණ අරඹයි (08-10-2017 14:04)

තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුලු වී මුදල් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක්  ආරම්භ කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවට මුදල් හුවමාරු වී ඇති බවයි වාර්තා වුණේ.

එම මුදල් මෙරට රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමකට ඩොලර් මිලියනකට අධික මුදලක් ගෙන්වා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

බැංකුවක පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුලු වී අමෙරිකානු ඩොලර් මිලියන 600ක්  සොරාගැනීමේ සිද්ධියක් පසුගිය දා තායිවානයෙන් වාර්තා වුණා.

පරිගණක හැකර්වරුන් විසින් මෙම සොරකම කර ඇති බවයි තායිවාන බලධාරින් කියා සිටියේ.

එලෙස සොරාගත් මුදල් ලොව විවිධ රටවලට ගෙන්වා ගෙන ඇති බවයි තායිලන්ත සයිබර් පාලක අධිකාරය පවසා තිබෙන්නේ.