Friday, April 26, 2024

General line - 0115112241

නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස බන්ධනාගාරයට ගෙනයන මාර්ගයේ ටයර් ගිනි තබයි (PHOTOS) (UPDATE)

රාහුල් සමන්ත /සුගත් ධර්මප්‍රිය/සුපෙම් මානගේ/සනත් ගමගේ




නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඊයේ (10) රාත්‍රි 11.00ට පමණ තංගල්ල බන්ධනාගාරයට රැගෙන යන අතරතුර එම වාහන ගමන් ගන්නා මාර්ගයෙහි ටයර් ගිනිතබා තිබුණා.

ඉන් මාර්ගයේ ධාවන කටයුතුවලට තරමක බාධා ඇති වුණා. කෙසේවෙතත් පිරිස තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව ඔක්තෝබර් 06 වැනිදා හම්බන්තොට නගරයේ ගෙන ගිය උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කළ කැඳවීමක් අනුව ඊයේ හම්බන්තොට පොලිසියට පැමිණි අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රාත්‍රී 10.00 ට පමණ හම්බන්තොට මහේස්ත්‍රාත් නිල නිවසේදී මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ කණ්ඩායමට ඩී. වී. චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඇතුළත් වෙනවා.

ඊට අමතරව උපාලි කොඩිකාර,සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන පිරිසද ඇතුළත්.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හේතු වශයෙන්, නීති විරෝධී ජනරාශිය, පොදු දේපොළවලට හානි සිදු කරනු ලැබීම, පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම, රාජකාරියට බාධා කිරීම, අධිකරණ නියෝග කඩ කිරීම යන චෝදනා ඉදිරිපත් කරනු ලැබ තිබුණා.

මේ වන විට හම්බන්තොට පැවතී විරෝධතාවය සම්බන්ධයෙන් මෙම පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු     සැකකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

 
 

------------------------------------------

නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස රිමාන්ඩ් කෙරේ (UPDATE) (VIDEO)

(10-10-2017 23:01)

(රාහුල් සමන්ත /සුගත් ධර්මප්‍රිය/සුපෙම් මානගේ)

අද (10) රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සහ ඩී.වී චානක ඇතුළු 06 දෙනා මීට සුළු මොහොතකට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව මේ මස 16 වැනිදා දක්වා පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

------------------------

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු 06 දැන් මහේස්ත්‍රාත් හමුවට (UPDATE)

(10-10-2017 22:39)

(රාහුල් සමන්ත /සුගත් ධර්මප්‍රිය/සුපෙම් මානගේ)

 

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සහ ඩී.වී චානක ඇතුළු 06 දෙනෙකු මේ වන විට අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රය අසළ නීතිවිරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පිරිස චෝදනා ලැබ තිබෙනවා.

ඒ පිරිස අතර ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාද ඇතුළත් වනවා.

සියලු තොරතුරු බලාපොරොත්තුවන්න....

-------------------------------------

නාමල් ඇතුළු 6ක් අත්අඩංගුවට.. සියළු තොරතුරු මෙන්න

(10-10-2017 21:00)

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී වී චානක සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6ක් මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට පොලිසිය විසින් අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ නියෝගය නොතකා පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරළ හා මේජර් අජිත් ප්‍රසන්න යන අය අත්අඩංගුවට පත්වූ අනෙකුත් සාමාජිකයන් වනවා.

කෙසේ වෙතත් පසුගියදා හමිබන්තොට පැවති විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී වී චානක ඇතුළු පිරිසකට හමුබන්තොට පොලිසිය හමුවේ පෙනි සිටින ලෙස පසුගියදා දන්වා තිබුණා.