Friday, March 29, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනය අවසන් (UPDATE)




ජනාධිපති ලේකම්වරයා සමග දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් අද (12) පස්වරුවේ පැවති සාකච්ඡාව අවසානයේ තාවකාලිකව වර්ජනය අවසන් කීරීමට තීරණය කර තිබෙනවා. 

-------------------------------------------------

දුම්රිය මගීන්ට ලංගමයෙන් නොමිලේ ප්‍රවාහනය

12-10-2017 16:08 

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භකර ඇති වර්ජනය නිමවනතෙක් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හා වෙන්කරන ලද දුම්රිය ප්‍රවේශපත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවල මුදල් නොගෙවා ගමන් කිරීමට වලංගු බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

-------------------------------------------------------

සවසට දුම්රිය ධාවනයට උත්සාහයක් ! අද දවසටම තවම දුම්රිය වාර 12යි! 

12-10-2017 15:03

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මක වනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අද (12) දිනයේ මේ දක්වා ධාවනය කර ඇත්තේ දුම්රිය වාර 12ක් පමණක් බවයි. කටුනායක ගුවන් තොටුපළ වෙත ඉන්ධන රැගෙන යන දුම්රියක් ද ධාවනය කර තිබෙනවා. 

අද පස්වරුවේ කාර්යාල අවසන් වීමෙන් පසු දුම්රිය කිහිපයක් ධාවනය කරවිමට උත්සහ දරමින් සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. වර්ජනය හේතුවෙන් මගීන්ට එල්ලවන පීඩා අවම කිරීමට අතිරේක ලංගම බස් රථ යෙදවීමට ද ප‍්‍රවාහන අමාත්‍යංශය කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව සියලූම ලංගම රියදුරන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි ප‍්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. 
 

-----------------------------------------------------------

අද සවස දුම්රිය ධාවනය සිදුවන්නේ කොහොමද? - බලධාරීන් සාකච්ඡා කරයි

12-10-2017 12:45

වර්ජනය හේතුවෙන් අද (12) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාරවලින් සියයට 90 ක්ම ධාවනය වී නැහැ.

දුම්රිය ධාවනය ගමන් වාර 10 කට සීමා වූ බවයි පාලක මැදිරිය පැවසුවේ. ඒ අනුව ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය 03 ක්, කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය 02 ක්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර 03 ක් සහ හලාවත සහ පුත්තලම දුම්රිය මාර්ගවල එක බැගින් දුම්රිය ධාවනය වී තිබුණා.

සතියේ දිනවල පෙරවරු කාලයේ කොළඹ කොටුවෙන් ධාවනය වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 150 ක්. දුම්රිය ගමන්වාර 350 ක් පමණ සතියේ එක් දිනක් තුළ ධාවනය කෙරෙනවා. 

වර්ජනය හේතුවෙන් අද උදෑසන කාලයේ බොහෝ දුම්රිය ස්ථාන පාළුවට ගොස් තිබූ බවයි ක්‍ෂේත‍්‍ර චාරිකාවේ නිරත වූ නෙත් නිවුස් කණ්ඩායමට දැකගත හැකි වුණේ. 

මේ අතර දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මකයි. දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවේ වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.

වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පෙන්වා දෙන්නේ ඊයේ සවස සිට මගී ජනතාවට සිදුවන අපහසුතාවය වැළැක්වීම සඳහා ශ්‍රී ලංගමය විසින් කොළඹ සිට පොල්ගහවෙල - අළුත්ගම - ගාල්ල - මීගමුව යන ප්‍රදේශ සඳහා විශේෂ බස් සේවා ක්‍රියාත්මක කළ බවයි.

එමෙන්ම ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ද පෞද්ගලික බස් රථ සේවා පුළුල් කර ඇති අතර වර්ජනය අවසන් වන තෙක් තාවකාලික මාර්ග බලපත්‍ර නොමැතිව අවශ්‍යතාවය අනුව පෞද්ගලික බස් ධාවනයට බස් රථ හිමියන්ට අවසරය ලබාදී තිබෙනවා.

මේ අතර ලංගමයේ සියළු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවද නිවේදනය කළා.

මෙම උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව තමා විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වර්ජන ක්‍රියාවලිය අඛන්ඩව ක්‍රියාත්මක කළහොත් මගී ජනතාවට සිදුවන අපහසුතාවය වැළැක්වීම සඳහා ඕනෑම ක්‍රිමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් මේ වනවිට දුම්රිය වෘත්තීය සමිති සහ බලධාරින් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙනවා. සවස දුම්රිය ධාවනය සිදු කරන්නේ කෙසේ දැයි එහිදී තීරණයක් ගනු ඇති.

----------------------------------

දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය (UPDATE)

(12-10-2017 06:11)

 

දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා. එය, තම ඉල්ලීම්වලට විසදුම් ලැබෙන තෙක් සිදුකෙරෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ඊයේ (11) 7.30 ට පමණ හදිසියේ මෙම වර්ජනය ආරම්භ කළා. ඒ, දුම්රිය එන්ජින් සහායකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළුවක් මුල්කර ගනිමින්.

මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් සහ මරදානෙන් ගමන් ආරම්භ කිරීමට තිබූ රාතී‍්‍ර තැපැල් සහ නගරාන්තර දුම්රිය සේවා රැසක් අවලංගු කෙරුණා.

හදිසියේ ඇති වූ මෙම තත්ත්වයට ඒ අවස්ථාවේ දුම්රිය ස්ථාන දෙකේ සිටි මගීන් දැඩි විරෝධයක් පළ කළා. ඒ අනුව කොටුව සහ මරදාන දුම්රිය ස්ථාවල ඇති වුයේ උණුසුම් තත්ත්වයක්.

පවතින තත්ත්වය පාලනය කිරීමට විශේෂ පොලිස් බලඇණියක්ද යොදවනු ලැබුවා. දුම්රිය නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ගමන් පහසුකම් සැපයීමට බස් රථ සේවා යෙදවීමටයි දුම්රිය බලධාරීන් පසුව කටයුතු කළේ.

මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් කොළඹින් පිටත් වන කිසිදු දුම්රියක් මේ වනවිට ධාවනය නොවන බවයි අද (12) අලූයම නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. 

කෙසේවෙතත් පොල්ගහවෙල, මහව, හලාවත, අවිස්සාවේල්ල සහ මහනුවර සිට දුම්රිය කිහිපයක් කොළඹට පැමිණීමට නියමිතයි.

පොල්ගහවෙල සහ හලාවතින් පිටත්වන දුම්රියන් අලූයම 5.30 ට කොළඹට පැමිණීම ආරම්භ කර තිබෙනවා. මහව දුම්රිය අලුයම 4.45 ට පිටත් වී ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

අලුයම 5.00 ට මාතරින් පිටත්වීමට නියමිත තිබූ දුම්රිය කොළඹට පැමිණිම ප‍්‍රමාද වනු ඇති බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික‍්‍රම කියාසිටියේ දුම්රිය ධාවනය කරවීමට හැකි උපරිම උත්සාහය ගන්නා බවයි. කෙසේවෙතත් තත්ත්වය සමථයකට පත් කිරිමට නොහැකි වනු ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ සඳහන් කළේ වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර ඇති බවයි. දුම්රිය සහායකයින් බඳවා ගැනීම නිසි ක‍්‍රමවේදයකට සිදුව නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අදාළ ගැටළුව සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අග‍්‍රාමාත්‍ය උපදේශක ජේ. දඩල්ලගේ ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුවා. එහිදී ගැටළුවට නිසි විසදුමක් ලැබී නැති බවයි වාර්තා වුණේ.

අග‍්‍රාමාත්‍ය උපදේශක ජේ. දඩල්ල සඳහන් කළේ දුම්රිය සහායකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී වෘත්තීය සමිති දැනුවත් කළ බවයි. 

මේ අතර දුම්රිය ධාවනය සිදුවන අවස්ථාවේ කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල පොලිස් නිලධාරීන් රඳවා තබන බවද දුම්රිය පාලක මැදිරිය පැවසුවා. මගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් දුම්රිය ආරක්‍ෂක නිලධාරීන්ද ප‍්‍රධාන දුම්රිය ස්ථානවල සේවයට යොදවා ඇති බවයි එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියාසිටියේ.

(ඡායාරූප - හැටන් - රංජිත් රාජපක්ෂ)

--------------------------------

දුම්රිය වර්ජනයෙන් පීඩාවට පත් මගීන්ට විශේෂ බස්රථ සේවාවක් (UPDATE)

(11-10-2017 21:33)

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් හදිසියේ වැඩ වර්ජනයක් ඇරඹීම හේතුවෙන් පීඩාවට පත් මගී ජනතාවට ගම් බිම් බලා යාම සඳහා විශේෂ බස් රථ යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

====================================

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් හදිසි වැඩ වර්ජනයක..කොළඹ කොටුව දුම්රිය ස්ථානය උණුසුම් වෙයි  

11-10-2017 20:19

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් හදිසියේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුව හා මරදානෙන් ආරම්භ වන දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වී ඇති බවයි පැවසෙන්නේ.

කොටුව දුම්රිය ස්ථානයේ මගීන් වර්ජනයට විරෝධය පළකිරීමත් සමග  දුම්රිය ස්ථානයේ උණුසුම් තත්තවයක් ද හට ගැනුණා.