Thursday, April 18, 2024

General line - 0115112241

ශලීලගේ සිද්ධිය ගැන හොයන්න තායිවානයෙන් 03 දෙනෙක් එයි




තායිවාන බැංකුවකින් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා එරට විශේෂ නියෝජිතයින් තිදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

එක් අයෙකු අදාළ බැංකුවේ නිලධාරියෙක්. විමර්ශනයට සහායවීම සඳහා තවත් නිලධාරීන් දෙදෙනෙකු දිවයිනට පැමිණි බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් මෙරටදී සිදුකරන පරීක්‍ෂණ සඳහා සිය දායකත්වය ලබාදීම ඔවුන්ගේ ශී‍්‍ර ලංකා සංචාරයේ ප‍්‍රධාන අරමුණ වනවා.

ඔවුන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටින බවයි පොලීසිය කියාසිටියේ. දිවයිනට පැමිණ සිටින තායිවාන බැංකු නිලධාරියාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. 

තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට නීතිවිරොධීව ඇතුළු වී ලබාගත් මුදල් තම බැංකු ගිණුමකට බැරකරගත් බවටයි ලීට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහට චෝදනා එල්ල වී ඇත්තේ.

ඔහු අත්අඩංගුවට ගැනුණේ මුදල් විශූද්ධිකරණ පනත යටතේයි. ශලිල මුණසිංහ අදාළ සමාගමේ සභාපති ධූරයෙන් වහාම ඉවත් කරන්නැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ඊයේ (12) නියෝගයක්ද නිකුත් කළා.

අත්අඩංගුවට ගත් ලීට්‍රෝ හිටපු සභාපතිවරයා ඔක්තෝබර් 25 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.