Friday, April 19, 2024

General line - 0115112241

බරපතල අපරාධ කළ අය දේශපාලන සිරකරුවන් නොවේ. උතුරේ හර්තාල් සිදුකළත් ඔවුන් නිදහස් කරන්න බෑ




දේශපාලන වාසි අපේක්ෂාවෙන් උතුරේ කුමන හර්තාල් සිදුකළත් බරපතල වැරදි වලට සම්බන්ධ කිසිඳු එල්ටීටීඊ සැකකරුවෙකු නිදහස් නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බියගම ප්‍රදේශයේ පාසල් දරුවන් වෙත නොමිලේ ඉගෙනුම් උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාවකට අද (13) සහභාගිවෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදුන්  ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් උතුරේ හර්තාලයක් දියත් කරමින් එම ප්‍රදේශවල ජනතාවගේ  ජනජීවිත අඩාල කිරීමේ උත්සාහයක නිරත වන බවයි.

දේශපාලන වාසි අපේක්ෂාවෙන් දෙමළ ජාතික සන්ධානය විසින් බන්ධනාගාර ගත කර සිටින මෙම පිරිස දේශපාලන සිරකරුවන් ලෙස සඳහන් කළද ඔවුන් එවැනි පිරිසක් නොවන බව පැවසූ අමාත්‍යවරයා, යුද සමයේ එම පුද්ගලයන් බරපතල අපරාධ වලට සම්බන්ධ වී ඇති බවට පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වී ඇති බව කියා සිටියා.

එවැනි පිරිස් අධිකරණ ක්‍රියාවලියකින් තොරව නිදහස් කළ නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.