Wednesday, April 24, 2024

General line - 0115112241

ලොවපුරා හින්දු බැතිමතුන් දීපවාලි සමරයි..ස්කන්ධ කුමරු උපවාසය අනිද්දා ඇරඹේ




ලොවපුරා විහිදි සිටින හින්දු ජනතාව ඉතාමත් උත්සවශ්‍රීයෙන් අද (18) දින දීපවාලි උත්සවය සමරනු ලබනවා.

අඳුරු යුගයක සිටි ජනතාව විශ්ණු දේවිඳුන් විසින් නිදස් කරගෙන ආලෝකමත් ජීවිතයක් ලබාදීම සිහිපත් කරමින් දීපවාලි උත්සවය සමරනු ලබනවා.

පහන් ආලෝකය යන තේරුම ඇති දීපවාලි උත්සවයේදී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහන් දල්වමින් හින්දු බැතිමතුන් තම දිවියට ආලෝකය ලබාදෙන ලෙස පුද පූජා පවත්වන අතර දීපවාලි දිනය මිනිසුන්ගේ අඥාණය දුරු වී ප්‍රඥාව පහළ වූ දිනයක් ලෙසයි හින්දු බැතිමතුන් සලකන්නේ.

නරඝාසුරනම් රාක්ෂයෙකු විසින් විවිධ හිරිහැර ජනතාවට සිදුවූ අතර ඔහුගෙන් ජනතාව මුදා ගැනීමට විශ්ණු දෙවියන් ක්‍රියා කළ බවත් අඳුරු යුගයක සිට අලෝකමත් ජීවිතයක් ලබාගත් මිනිසා එම දිනය සිහිපත් කරමින් අදත් මෙම උත්සවය සමරනු ලබනවා.

මෙහිදී නරඝාසුර නම්  රාක්ෂයා තමාගේ අවසානය සනිටුහන් වන දිනය දුක්ඛිත විය නොයුතු බවත් එය ලොව ජනතාවගේ සතුටට හේතුවක් විය යුත් බවත් මරණ මංචකයේ දී විශ්ණු දෙවියන්ගෙන් ඉල්ලා සිටි බවත් සඳහන් වනවා.

ඒ අනුව දීපවාලි දිනයේ දී හින්දු බැතිමතුන් සිය මළගිය ඥාතීන් සිහිපත් කරන දිනයක් ලෙස ද සැළකෙනවා.

තාරක නම් අසුරව මර්දනය කිරීමට යාමේ දී තම දෙමාපයන්ගේ ආශීර්වාදය ලබාගත් කතරගම දෙවිඳුන් ඉන් පසුව සිය තම මාමා වන විෂ්ණු දෙවිඳුගේ ආශීර්වාදය ලබාගෙන ගොස් එය ජයගත් බවයි හින්දු පුරාණයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ කතරගම දෙවිඳු වන්දනා අද වඩාත් ප්‍රචලිත වී ඇති අතර හින්දු ආගමිකයන් මෙන්ම බෞද්ධයන් ද කතරගම දෙවිඳුන්ට පුද පූජා පවත්වනවා.

අප රටේ විවිධ පළාත්වල කතරගම දෙවුල් තිබුනද කතරගම මහා දේවාලය, සෙල්ල කතරගම, යාල කැබිලිත්ත දේවාලය, අම්පාර තිරුක්කෝවිල් දේවාලය සහ යාපනය නල්ලූර් කෝවිලය  ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධියක් උසුලනු ලබනවා.

කතරගම දෙවියන් කියි සැනින් අපට මතක් වන්නේ හිස් හයක් අත් දොලහක් ඇස් දොලහක් සහිත රූපයක්.

අද කතරගම දෙවිඳුන් සම්බන්ධයෙන් විවිධාකාරයේ කතා පැතිර ගියත් සැබැවින්ම කතරගම දෙවිඳුන්ගේ උපත සිදුවන්නේ ද වෙන් වෙන් වශයෙන් වූ දරුවන් හයදෙනෙකු වශයෙන් යැයි හින්දු පුරානයේ සඳහන් වනවා.

කතරගම දෙවිඳුන් උපත ලබන්නේ තාරුක නම් අසුරයෙකු මර්දනය කිරිමට බවයි සඳහන් වන්නේ. තාරුක නම් අසුරයා ශිව භක්තිකයෙක්.

තමාට කිසිදා මරණයක් අත්නොවන ආකාරයේ වරමක් ඔහු ශිව දෙවිඳුගෙන් ලබාගන්නා අතර කවදා හෝ තමන්ට මරණයක් ඇති වන්නේ නම් එය පුද්ගලයන් හය දෙනෙකුගේ බලයක් ඇති බලසම්පන්න පුද්ගලයෙකුගේ අතින් සිදුවිය යුතු බවටත් ශිව දෙවිඳුගෙන් වරමක් ලබා ගත්තා.

කිසිම දිනක පුද්ගලයන් හය දෙනෙකුගේ බලය සහිත බලසම්පන්න පුද්ගලයෙකු බිහි නොවන බවටයි එහිදී අසුර සිතන්නට ඇත්තේ.

ඉන් අඩම්බරයට පත්වූ අසුර දේව කුලයේ පිරිසට දැඩි ලෙස කරදර කරන්නට විය. එය දරාගත නොහැකි දේව කුලයේ පිරිස් ශිව දෙවියන්ට ඒ පිළිබඳව සැල කළ අතර ශිව දෙවිඳුන් වඩාත් කෝපයට පත්වූ බවයි ශිව පුරානයේ සඳහන් වී තිබෙන්නේ.

එම අවස්ථාවේ දී ශිව දෙවිඳුන්ගේ වීර්යය, කෝපය, ජය,ආවේශය,අඝෝරය සහ රෞද්‍ර නම් වූ බලය හා මුහුණ කැටිකරගෙන ශිව දෙවිඳුගේ නළල් ඇසින් පිට වන කිරණ හයකින් කුඩා දරුවන් හය දෙනෙකු බිහි වුණු බවත් පාර්වති දේවිය එම දරුවන් හය දෙනා සිය අතින් එකවර වඩා ගැනිමේ දී මුහුණු මයකින් යුත් එක් දරුවෙකු බවට පත් වූ බවත් සඳහන් වනවා.

අන්න ඒ ආකාරයෙන් කතරගම දෙවිඳුන් උපත ලබන්නේ තාරක නම් අසුරව මර්දනය කිරිමටයි.

ඔහුගේ ඉල්ලීම අනුව පුද්ගලයන් හය දෙනෙකුගේ බලයෙන් යුත් බලසම්පන්න පුද්ගලයෙකු ලෙස බිහි වූ කතරගම දෙවියන් වෙනුවෙන් වෙන්වූ මාසයක් ලෙස මෙම මාසය වෙන්ව තිබෙනවා.

මෙම මාසයේ දී හින්දු බැතිමතුන් කතරගම දෙවිඳුන් වෙනුවෙන් දින 6ක් උපවාසයේ නිරත වනවා.

එය හැඳින්වෙන්නේ ස්කන්ධ ශෂ්ඨි උපවාසය යන්නයි.

එම දින හයේ දී කුසට ආහාරයක් නොමැතිව දැඩි ලෙස කතරගම දේව වන්දනාවේ හින්දු බැතිමතුන් යෙදෙන අතර වයෝවෘද්ධ හෝ තරමක දුර්වල පුද්ගලයෙකු නම් දිනකට වේලක් පමණක් සුළු ආහාරයක් අනුභවය කළ හැකි බවයි සඳහන් වන්නේ.

හින්දු බැතිමතුන් පවසන ආකාරයට ස්කන්ධ ශෂ්ඨි උපවාසය මහ බලසම්පන්න උපවාසයක්.

ස්කන්ධ ශෂ්ඨි යනුවෙන් අර්ථවත් වන්නේ ද ස්කන්ධ කුමරුගේ උපත යන්නයි.