Wednesday, April 24, 2024

General line - 0115112241

වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධිය සියැසින් දුටු රැඳවියෙක් අද උසාවියට කිව්ව කතාව




2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේදී සිදු කළ වෙඩි තැබීමට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති මෙම විමර්ශනයේ ප්‍රගතියක් වාර්තා වන බවද නීතිපතිවරයා අධිකරනයට දැන්වා සිටියා.

සුදේශ් නන්දිමාල් සිල්වා නැමැත්තා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම රැඳවියකු ලෙසට සියැසින් දුටු බවටද ඔහු පවසා සිටිනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි සිදු කළත් පොලිසිය විසින් මේ වන විට නිසි පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවට පෙත්සම්කරු චෝදනා කර තිබුණා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය මීළඟ දින වාර්තාවක් මගින් ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

එහිදී 2012 වර්ෂයේ නොවැම්බර් මස 9 සහ 10 යන දිනයන්වල ආරක්ෂක අංශ විසින් සිදු කළ වෙඩි තැබීමකින් වැලිකඩ බන්ධනාගාරයේ මිය ගිය රැඳවියන් 27ක ගේ ඝාතනයන්ට අදාළව නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම දෙසැම්බර් මස 6 වැනිදාට කල් තැබුණා. 

මෙම පෙත්සම අද (17) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටි.බි. දෙහිදෙනිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණා.