Thursday, April 25, 2024

General line - 0115112241

ඊයේ සාක්ෂි අවසන් කළ බැඳුම්කර කොමිසමේ මීළඟ පියවර මෙන්න




ප‍්‍රශ්නගත බැදුම්කර නිකුතුව පිළිබඳ සාක්‍ෂි විමර්ශනය සිදුකළ ජනාධිපති කොමිසම ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතයි.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටි. චිත‍්‍රසිරි කියාසිිටියේ සාක්‍ෂි විමර්ශනය ඊයේ (17) දිනයෙන් අවසන් කෙරුණු බවයි.

මෙවැනි කොමිසමක සාක්‍ෂි විමර්ශනයෙන් පසු ඉදිරියේදී සිදුවන්නේ කුමක් දැයි නෙත් නිවුස් විද්වතුන්ගෙන් විමසීමක් කළා.

එහිදී, බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා සඳහන් කළේ මෙම වාර්තාව හැකි ඉක්මනින් ලබා දිය යුතුව ඇති බවයි. එය කල්දැමීමේ හැකියාවක් නැති බවද සඳහන් කළා. ඒ සඳහා ඇතැම්විට කොමිසමට රෑ දවල් දෙකෙහිම මහන්සි වීමට සිදුවන බවද පෙන්වා දුන්නා.

ඒ අනුව ඊට අදාළ වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම දැන් ඇත්තේ ජනාධිපතිවරයා සතුව බවයි මෙහිදී වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවාගෙන්ද නෙත් නිවුස් එහි නීතිමය තත්ත්තවය පිළිබඳ විමසීමක් කළා. එහිදී ඔහු කියාසිටියේ එම කොමිසමට දඬුවම් පැමිණවීම සඳහා නීතිමය බලයක් නොමැති බවයි.

මෙම මූලික විමර්ශනයේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය උල්ලංගනය වීමක් සිදුව ඇති බව හෙළි වී ඇත්නම් සහ වගකිවයුතු පිරිස් අනාවරණය වී ඇත්නම් ඉන් එහාට නීතිපතිවරයා විසින් අධිචෝදනා නැගිය යුතු බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම වාර්තාව නීතිපතිවරයා වෙත ලබා දිය යුතු බවද පෙන්වා දුන්නා.

2015 වසරේ පෙබරවාරි මස පළමු වැනිදා හා 2016 වසරේ මාර්තු මස 31 වැනිදා අතර කාලය තුළ සිදුවූ බව කියන භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන කිරීමටයි ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළේ. එහි සාක්‍ෂි විමසීම මාස 9 කට ආසන්න කාලයක් සිදු කෙරුණා.