Thursday, April 25, 2024

General line - 0115112241

ඊයේ රෑ අහසේ ඇති වූ ශබ්දය හඳුනා ගනී (UPDATE)

පසන් නන්දුල




දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ඊයේ (18) ශ‍්‍රවණය වූ ආගන්තුක ශබ්දය සහ දර්ශනය වූ ආගන්තුක එළිය පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් මේ වනවිට පරීක්‍ෂණ සිදුකරමින් සිටිනවා.

මෙම ශබ්දයට හා එළියට හේතුව උල්කාෂ්මයක පිපිරී යාමක් බවයි තහවුරු කර ගෙන ඇත්තේ. දකුණු දිග අහසේ එය පුපුරා ගොස් ඇති බවද කොළඹ විශ්ව විද්‍යාලයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප‍්‍රකාශ කළා. 

ඊයේ රාත‍්‍රී 8.40 ත් 9.15 ත් අතර කාලයේදී මෙම ආගන්තුක ශබ්දය ශ‍්‍රවණය වී එළිය දර්ශනය වී තිබුණා.

මෙම ආගන්තකු ශබ්දය ඇසී තිබුණේ ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලටයි. හම්බන්තොට ඇතුළු දිවයිනේ තවත් ප‍්‍රදේශ කිහිපයක ජනතාව ආගන්තුක එළිය දැක තිබුණා. කළුතර සහ කොළඹ යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ප‍්‍රදේශවලටද මෙම ශබ්දය ශ‍්‍රවණය වී එළිය දර්ශනය වූ බවයි වාර්තා වුණේ.

මෙම ශබ්දය සහ එළිය පිළිබඳ නෙත් නිවුස් දිගින් දිගටම සොයා බැලීම් සිදුකළා. නෙත් නිවුස් ප‍්‍රාදේශීය වාර්තාකරුවන් මේ වනවිටත් දකුණු පළාතේ මේ ආශි‍්‍රතව සිදුවන පරීක්‍ෂණ හා සම්බන්ධව සිටිනවා.

මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්‍ෂ, මහාචාර්ය චන්දන ජයරත්න නවතම තොරතුරු පිළිබඳව දැනුවත් කරමින් සඳහන් කළේ "දැනට අපි මේක පුපුරපු උස ගණනය කරලා තියෙනවා.. ඒක පොළොව මට්ටමේ සිට උස කිලෝමීටර් 250 ත් 200 අතර උසකදී තමයි මේක පුපුරලා තියෙන්නේ. මේක කුඩා එකක් නෙමෙයි..මධ්‍යම ප්‍රමාණයේ උල්කාෂ්මයක්. දැනට කොටස් සෙවීම සඳහා කණ්ඩායම් දෙකක් කටයුතු කරනවා.. බොහෝවිට කොටස් හමු නොවන්නත් ඉඩ තිබෙනවා. ඉතින් අපි ජනතාවටත් කියන්නේ මේ ගැන යම් තොරතුරුක් දැක්කොත් ගස් කොළන් පිච්චීමක් එහෙමත් නැතිනම් යම් හඳුනාගත නොහැකි කොටස් වගේ දේවල් දැක්කොත් අල්ලන්න යන්න එපා.. බේසමකින් වගේ වහලා අපිට දැනුම් දෙන්න. මෙය වැටී ඇති ස්ථානය පිළිබඳව තාම තහවුරු කරගෙන නැහැ." යනුවෙනි.

2014 වසරේදීද අරලගංවිල ප‍්‍රදේශයට කඩා වැටුණු ආගන්තුක වස්තුවක් සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වුණා. පසුව අනාවරණ කර ගැනුණේ එය අභ්‍යවකාශ වස්තුවක කොටසක් බවටයි.
 

----------------------------------------

ඊයේ රෑ ඇතිවු බව කියන 'ශබ්දය සහ එළිය' ගැන ජනතාව දැනුවත් කරයි

(19-10-2017 06:35)

(හේමන්ත කහවලගේ/ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි/නවෝද්‍යා ගමගේ/පසන් නන්දුල)

 

ප‍්‍රදේශ කිහිපයකට ඊයේ (18) ඇසී ඇති ආගන්තුක ශබ්දය සහ දැක ඇති ආගන්තුක එළිය පිළිබඳ කලබල නොවන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඊයේ රාත‍්‍රී 8.40 ත් 9.15 ත් අතර කාලයේදී මෙම ආගන්තුක ශබ්දය සහ එළිය දර්ශනය වූ බවයි දැනට ලැබී ඇති වාර්තාවල දැක්වෙන්නේ.

මේ පිළිබඳ අදාළ තාක්‍ෂණික ආයතන තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

ගාල්ලට සහ මාතරට අමතරව හම්බන්තොට, කළුතර සහ කොළඹ යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ප‍්‍රදේශවලට මෙම ශබ්දය අසන්නට සහ එළිය දර්ශනය වූ බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ඇසී ඇති ශබ්දය සහ නිරීක්‍ෂණය වූ එළිය කුමක් දැයි යන්න පිළිබඳව ජනතාව තවමත් කුතුහලයෙන් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. 

නෙත් නිවුස් මේ පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්‍ෂ, මහාචාර්ය චන්දන ජයරත්නගෙන්   විමසීමක් කළා.

ඔහු පැවසුවේ මෙවැනි සිද්ධීන් ඉකුත් දිනවල වෙනත් රටවලින්ද වාර්තා වී ඇති බවයි. මේවා ගිනිබෝල වර්ගයේ උල්කාශ්ම විය හැකි බවත් මේ වන විට හැලී ගේ දුමකේතුවේ කක්ෂය හරහා පෘතුවිය ගමන් කිරීම සිදුවන නිසා එමගින් උල්කාපාත වර්ෂාවක් ඇතිවීමටද නියමිත බවත් සමහර විට  එම සිද්දිය නිසා ඇතිවූ තත්ත්වයක්දැයි සැක කල හැකි බවයි.

කඩා වැටුණු කිසියම් ආකාශ වස්තුවක් බවට සැක කෙරෙන දෙයක් හමු වුවහොත් ඒ පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයට දැනුම් දෙන්නැයි මෙහිදි ඉල්ලීමක් කෙරුණා.

ඉකුත් 2011 වසරේ අගෝස්තු මාසයේදී අනුරාධපුර ඇතුළු ප‍්‍රදේශ කිහිපයකටද ආගන්තුක ශබ්දයක් ශ‍්‍රවණය වී ආගන්තුක එළියක් නිරීක්‍ෂණය වුණා. එහෙත් එම ශබ්දය හෝ එළිය කුමක් දැයි මේ දක්වාත් තහවුරු වී නැහැ.