Thursday, April 25, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනය නවතී

හේමන්ත කහවලගේ/සමන්ත කුමාර




අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ විෂයභාර නියෝජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවක දී ඔහු අග්‍රාමත්‍යවරයා වෙත අදාළ ගැටළුව යොමු කරන බවට පොරොන්දු වූ බවයි.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා යොමු කළ ගැටළුව අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ බවත් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබාදෙන බවට දන්වා ඇති බවත් දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න වැඩිදුරටත් කියා සිටියා.

දුම්රිය වෘත්තීය සමිති අදාළ වැඩවර්ජනය සැලසුම් කර තිබුණේ වැටුප් වර්ධකයක් ඉල්ලා සිටිමින්.

මේ අතර ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද (20) මේ පිළිබඳ අදහස් දැක්වුවා.

අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තීය සමීති ඇතුලේ පවතින ගැටළු රටේ ගැටළු බවට පත්කරන බවයි.

පසුගිය වැඩ වර්ජනයේ දී ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදු වූ බවත් එවැනි ක්‍රියාවල නිරත නොවි ජනතාවට සේවය ලබාදෙන ලෙසත් සියළු සේවකයන්ගෙන් තමන් ඉල්ලා සිටින බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

මේ අතර ත්‍රී‍රරෝද රථ ආනයනය අධෛර්ය කිරීම සදහා ඉදිරියේදී ප්‍රතිපත්ති සකස් කළයුතු බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියා.

වයස අවුරුදු 35 ට අඩු තැනැත්තන්ට කුලී ත්‍රිරෝද රථ පැදවීම සඳහා බලපත්‍ර ලබාදීමද නතර කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෝටර් වාහන පනත යටතේ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද (20) විවාදයට ගත් අවස්ථාවේ මෙම අදහස් පළ කෙරුණා.