Friday, April 19, 2024

General line - 0115112241

රටේ ඉන්ධන වියදම ඉහළ යයි - බොරතෙල් ආනයන පරිමාව අඩුවෙයි

ඉෂාර සුපෙම් මානගේ




මෙරට ඉන්ධන සඳහා වූ වියදම සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඉන්ධන ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්චේදයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 312ක් දක්වා සියයට 73.0 කින් ඉහළ ‍ගොස් ඇති බවයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.
 
ඒ අනුව ප්‍රධාන වශයෙන් ඉන්ධන ඇතුළුව අන්තර් භාණ්ඩ ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් 2017 අගෝස්තු මාසයේ දී ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්චේදයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 1857ක් දක්වා සියයට 12.6කින් ඉහළ  ගොස් ඇති අතර එය මෙම වසර තුළ මේ දක්වා වාර්තා වී ඇති දෙවන ඉහළම ආනයන වියදමයි.

පිරිපහදු කරන ලද ඛනිජ තෙල් ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 233ක් දක්වා සියයට 110.9කින් සැළකිය යුතු ලෙස ඉහළ යෑම මෙලෙස ඉන්ධන ආනයනය වියදම ඉහළ යෑම සඳහා බලපා තිබෙනවා. 

මීට අමතරව මෙම කාලපරිච්චේදය තුළ බොරතෙල් ආනයන පරිමාව පහළ ගියද ජාත්‍යන්තර වෙළඳපොළෙහි බොරතෙල් මිල ගණන් ඉහළ යෑම පිළිබිඹු කරමින් බොරතෙල් ආනයන වියදම සියයට 12.2 කින් ඉහළ ගොස් තිබෙනවා.