Wednesday, April 24, 2024

General line - 0115112241

දිවුලපිටිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රිමාන්ඩ් (UPDATE)

හේමන්ත කහවලගේ




දිවුලපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  රන්දීර් රොද්‍රිගෝ ඇතුළු සැකකරුවන් 7ක් ලබන මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඒ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (24) ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

දිවුලපිටිය,හේන්පිටගෙදර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකාය සහ අපරාධකරුවන් පිරිසක් අතර සිදුවූ වෙඩි හුවමාරුවක් සම්බන්ධයෙන් තොරතුරු ඊයේ (24) වාර්තා වුණා.

එම වෙඩි හුවමාරුවෙන් පුද්ගලයෙකු මිය ගියා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රීවරයාගේ බිරි වන හර්ජොට් කෝර් නමැත්තිය ද ලබන 31 වැනිදා තෙක් අද (24) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ ඇය වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර සිද්ධියෙන් පසු සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී තවත් අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ අතරට අධි බලැති නොවන පුපුරණ ද්‍රව්‍ය හා තියුණු ආයුධ මෙන්ම වෙඩි නොවදින ඇඳුම් කට්ටලයක් ද අයත්.

මේවා සොයාගැනුණේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රීවරයාගේ නිවසේ තිබියදීයි.

ඔහුගේ නිවසේ ටී56 ගිනිඅවි සහ පිස්තෝල තිබූ බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

එහෙත් ඒවා දැන් අතුරුදන්ව ඇති බවයි පසුව කෙරුණු සෝදිසි මෙහෙයුමේදී අනාවරණ වී ඇත්තේ.

සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්වූ සැණින් ඔහුගේ නිවසේ සිට මෝටර් රථයක් පිටව ගොස් තිබුණා.

අදාළ අවි ආයුධ එම මෝටර් රථයෙන් රැගෙන ගිය බවටයි පොලීසිය සැක පළකරන්නේ.

------------------

දිවුලපිටියේ පාතාල සාමාජිකයන් සමග ඇල්ලු " එජාපෙ මන්ත්‍රිවරයා "හිටපු ඇමතිවරයෙකුගේ සමීපතයෙක් (24-10-2017 16:16)

දිවුලපිටිය හේන්පිටිගෙදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති කරගත් වෙඩි හුවමාරුවෙන් පසු  අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ සමීපතමයෙකු ලෙස කලක් කටයුතු කර ඇතැයි විමර්ශනවලින් හෙළිවි තිබෙනවා.

ඔහු මෙම ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ ඥාතියෙකු ද වන බවයි වැඩිදුරටත් හෙළිව ඇත්තේ.

මීට පෙර පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයා චෝදනාවට ලක්ව සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට පහර දිම  සම්බනධයෙන් ද මීට පෙර ඔහු චෝදනා ලබා සිටි බවයි පොලිස් ආරංචි පවසන්නේ. 

---------------------

දිවුලපිටියේ වෙඩි හුවමාරුවෙන් පසු ඇල්ලූ සැකකරුවන්ගේ අරමුණ හෙළි වෙයි  (24-10-2017 06:00)

දිවුලපිටිය හේන්පිටිගෙදර ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඊයේ (23) ඇති වූ වෙඩි හුවමාරුවේදී පාතාල සාමාජිකයන් සමග සිටි තවත් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු පළා ගොස් තිබෙනවා.

කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල ක‍්‍රියාකාරිකයෙකු වූ සමයං ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද සැකකරුවකු වන පොල් වත්තේ නිශාන්ත නැමැත්තා ද එලෙස පළා ගිය අය අතර සිට ඇති බවයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

මේ අතර වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පාතාල සාමාජිකයා ප‍්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ද වෙඩි වැදී ඇතත් වෙඩි නොවදින කබා ඇඳ සිටීම නිසා ඔවුන්ට ජීවිත හානියක් හෝ බරපතල ලෙස තුවාල සිදුවී නැහැ. 

විමර්ශනවලදී වැඩිදුරටත්  හෙළි වී ඇත්තේ අදාළ පාතාල සාමාජිකයන් පිරිස නිධානයක් ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කරමින් සිට ඇති බවයි. වෙනත් පිරිසක් ලබා ගත් නිධානයක් ඔවුන්ට පහර දී කොල්ල කෑමට සැළසුම් කළ බව අත්අඩංගුවට ගත් අයගෙන් කෙනෙකු ප‍්‍රකාශ කර තිබෙනවා.

-----------------------------------

දිවුලපිටියේ වෙඩි හුවමාරුවේ තවත් තොරතුරු හෙළි වෙයි (UPDATE)

(23-10-2017 19:46)

 

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පාතාල සාමාජිකයන් බවට සැක කෙරෙන පිරිසක් අතර දිවුලපිටිය, හේන්පිටිගෙදර ප‍්‍රදේශයේදී දී අද (23) දහවල් සිදු වූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් මේ වන විට තවත් තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා.

මෙම වෙඩි හුවමාරුවේදී  පාතාල සාමාජිකයෙකු බවට සැක කෙරෙන එක් අයෙකු මිය ගියා. ඔහු  නිල්පනාගොඩ මිනුවන්ගොඩ පදිංචි වයස අවුරුදු 35ක් පමණ වූ නාවලගේ කුෂාන් තක්ෂිල කුරේ නැමැති අයෙක්.

ලද තොරතුරකට අනුව වැටලීමක් කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දිවුලපිටිය, හේන්පිටිගෙදර ප‍්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී පාතාල සාමාජිකයන් බවට සැක කෙරෙන පිරිස ඔවුන්ට වෙඩි තබා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළා.

වෙඩි හුවමාරුවෙන් පසු සැකකරුවන් 07 දෙනෙකු ද ඔවුන් ට අයත් බව කියන වෑන් රථයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්තා. පිස්තෝල 02ක්, ප්ලාස්ටික් පිස්තෝලයක් සහ අත්බෝම්බයක් ද ඔවුන් ළඟ තිබී සොයා ගෙන තිබෙනවා.

සිද්ධියේදී තවත් සැකකරුවන් දෙදෙනෙක් පළාගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු බවයි පොලිස් ආරංචි පවසන්නේ. ඔහු රන්දීර් රොද්‍රිගු නැමැත්තෙක්.

පසුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව බිරිඳවද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය ඉන්දිය ජාතික කාන්තාවක් බවයි පොලිස් ආරංචි පවසන්නේ. හිටපු මන්ත‍්‍රීවරයාගේ නිවසේ තිබී පතොරම් තොගයක් සොයා ගෙන තිබෙනවා. ඔහුගේ භාර්යාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවයි. 

---------------------------------

පාතාල සාමාජිකයන් හා STF අතර වෙඩි හුවමාරුවක්

(23-10-2017 14:34)

 

දිවුලපිටියේ හේන්පිටගෙදර ප්‍රදේශයේදී පාතාල සාමාජිකයන් පිරිසක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

 

මෙහිදී එක් පාතාල සාමාජිකයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

තවත් පාතාල සාමාජිකයන් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.