Friday, March 29, 2024

General line - 0115112241

ඇල්බර්ට් අයින්ස්ටයින් තැබූ සටහන් දෙක ගිය දුර (PHOTOS)




කීර්තිමත් භෞතික විද්‍යාඥයකු වන ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් ජීවිතයේ සතුට පිළිබඳ සිය අත්අකුරින් ලියා තිබූ කුඩා සටහන් දෙකක් ජෙරුසෙලමේ දී ඉහළ මිලකට වෙන්දේසි කර තිබෙනවා.

මෙම සටහන් වෙන්දේසි වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1.56කටයි. ජපානයේ ටෝකියෝ නුවරදී 1922 වසරේදී අයින්ස්ටයින් මෙම සටහන් තබා තිබෙනවා. ඒ භාණ්ඩ ප‍්‍රවාහනය කළ සේවකයකුට සන්තෝසමක් ලෙසයි.

එම පුද්ගලයා භාණ්ඩ රැගෙන අයින්ටයින් වෙත පැමිණි අවස්ථාවේදී අයින්ස්ටයින් මෙම සටහන ලබාදී ඇත්තේ සේවකයාට දීමට තරම් අයින්ස්ටයින් සතුව මුදල් නොතිබීම හේතුවෙන්.

කෙසේවෙතත් ඔහු වාසනාවන්තයකු නම් දිනෙක මෙම පණිවුඩය ඉතා ඉහළ වටිනාකමක් ගනු ඇතැයි මෙම සටහන දෙමින් අයින්ස්ටයින් පවසා තිබෙනවා.  

සටහන් දෙකින් එකක් ලියා ඇත්තේ ‘සන්සුන් සහ නිහතමානී ජීවිතය, කළබලකාරී ජීවන රටාවකට වඩා සතුට ගෙන දෙනු ඇත’ යන්නයි. 

‘දිගුකාලීන සිහින දකිමින් ඉලක්ක සපුරාගැනීමෙන් පමණක් ජීවිතයට සතුට ලැබෙනු ඇතැයි සහතිකයක් නොමැති බව’ අනෙක් සටහනේ දැක්වෙනවා.

ඇල්බර්ට් අයින්ස්ටයින් සිය මුළුමහත් ජීවිතයම කැපකළේ විද්‍යාවේ උන්නතිය වෙනුවෙන්.