Wednesday, April 24, 2024

General line - 0115112241

ජයලලිතා ජයරාම්ගේ නිවසින් පරීක්ෂණ ඇරඹේ..සශිකලාට වරදින ලකුණු (PHOTOS)

වසන්ත පිවිතුරු




තමිල්නාඩුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා කෙනෙකු සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු වහාම ලියාපදිංචි තැපෑලෙන් හෝ එසේ නොමැති නම් පරික්ෂණ කොමිසම වෙත ඍජුවම කරුණු ඉදිරිපත් කරන ලෙස ජයලලිතා ජයරාම්ගේ මරණය පිළිබඳ පරික්ෂණ කොමිසම ප්‍රසිද්ධ නිවේදනයක් අද (27) නිකුත් කළා.

අදාළ පරික්ෂණ කටයුතු අද (27)  දින ආරම්භ කරන බවයි පසුගියදා චෙනායි ‍ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබුණේ.

කෙසේ වෙතත් පරික්ෂණ කොමිසම සිදුකළ ඉල්ලීමකට අනුව එම පරික්ෂණ කටයුතු මෙම මස 30 වන දින ආරම්භ කිරිමට නියමිතයි.

අදාළ කොමිසම මෙම පරික්ෂණ කටයුතු ජයලලිතාගේ නිවසේ සිට ආරම්භ කරන බවයි කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 22 වන දින ජයලලිතා ජයරාම් රාත්‍රී 10.30ට රෝගාතුරු වී චෙනායි ඇපලෝ රෝහලට ඇතුල් කරනු ලැබුවා . එම අවස්ථාවේදී ඇය දින 70ක් ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

ප්‍රතිකාර අතරවාරයේ ඇය දෙසැම්බෙර් මස 5 වැනි දින ඇපලෝ රෝහලේ දී මියගියා.

ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව සැක පල කිරීමත් සමග තමිල්නාඩුවේ එය දැඩි ආන්දෝලනයක් වී තිබෙනවා.

මෙහිදී ජයලලිතා ජයරාම්ගේ සමීපතම මිතුරිය වන  සශිකලා පිලිබඳ   ‍සැක පලවී ඇති අතර හිටපු මහා ඇමතිනිය ඇපලෝ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කිසිඳු පාර්ශවයකට ඇයව බැලීම පවා සශිකලා විසින් තහනම් කර තිබුනා.

තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාගර් රාව්, තමිල්නාඩුවේ එම අවස්ථාවේ වැව බැලු මහා ඇමති පන්නීර්චෙල්වම්ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ මහලේකම් රාහුල ගාන්ධි එමෙන්ම ජයලලිතාගේ සහෝදරයාගේ දියණිය වන දීපා ඇතුළු දේශපාලන ප්‍රබලයන්ට ද ජයලලිත බැලීම තහනම් වුණා.

 

ජයලලිතාගේ අවමංගල්‍ය කටයුතු පවා පවුලේ සාමාජිකයන්ට තහනම් වුනේ සශිකලගේ නියෝග අනුවයි.

ඉන් අනතුරුව බලහත් කාරයේ ශෂිකලා පක්ෂයේ මහලේකම් තනතුර ද ලබාගෙන තමිල්නාඩු මහඇමති ධුරයේ දිවුරුම් දීමට සුදානම් වූණා.

කෙසේ වෙතත් සශිකලාගේ එම සිහිනය බොඳ වීමත් සමග චෙනායි ශ්‍රේෂ්ඨාධිකරණයට ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන් සැක පළකරමින් පෙත්සමක් ද ගොනු කෙරුණා.

මෙම පෙත්සමේ ප්‍රධාන සැකකාරිය ලෙස සශිකලා නම්කර තිබෙනවා.

අදාල පෙත්සම විභාගයට ගත්  අධිකරණය ඒ සම්බන්ධයෙන් විශේෂ කොමිසමක් පත්කරනු  ලැබුවා.

ඒ අනුව ඇපලෝ රෝහලේදී ජයලලිතාට ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරයට ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් ප්‍රතිකාර ලබාදුන් කාල වකවානුවේ සීසීටීවී දර්ශන ද අධිකරණයට ලබාදෙන ලෙසයි නියෝග කළේ.

 

සම්බන්ධිත  පුවත  ජයලලිතාගේ ඇඟිලි සලකුණ ගැන කියන්න ඇපලෝ වෛද්‍යවරයාට ඇරයුමක් (UPDATE)