Friday, April 19, 2024

General line - 0115112241

අධ්‍යාපන ඇමතිට සභාපති ධූරයකුත් (PHOTOS)




මෙරට දී අවසන් වූ 14 වන ලෝක තරුණ සංඝ සම්මේලනයේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට ජාත්‍යන්තර එක්සත් බෞද්ධ සංඝ සභාවේ ගිහි සභාපති ධූරය හිමිව තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයෙකු ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා සිදුකරන කටයුතු අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන්ගේ ඇගයීමටද ලක්ව තිබෙනවා.

මේ අනුව බෞද්ධ ධර්මය ප්‍රචලිතව ඇති ලෝකයේ සියලු රටවල් නියෝජනය කරන ජාත්‍යන්තර එක්සත් බෞද්ධ සංඝ සභාවේ ගිහි සභාපතිවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කටයුතු කරනු ඇති.

මෙම සමුළුවට ලෝකයේ ඇති ප්‍රධාන බෞද්ධ සම්ප්‍රදායන් 05 වන ථේරවාදී, මහායාන, තන්ත්‍රයාන, වජ්‍රයාන සහ සෙන් යන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සහ ගිහි නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ මේ වසරේ දී බෞද්ධ විහාරස්ථාන 750 ක් සංවර්ධනය කිරීම සඳහා අවමය රුපියල් ලක්ෂ 05 බැගින් වන මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට පියවර ගෙන ඇති බවයි.

තවත් විහාරස්ථාන 250 කට මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා මීට මාස 02 කට පමණ ඉහත දි මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන් බවද පෙන්වා දුන්නා. 

මීට අමතරව පැරණි බෞද්ධ උරුමයන් සංරක්ෂණය කිරීම උදෙසා ද විශේෂ වැඩසටහනක් දියත් කිරීමට ද කටයුතු කර ඇති බව පවසා සිටියා.

ඉදිරියේදී පිරිවෙන්වල අධ්‍යයන කටයුතුවල නිරත ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙනුවෙන් රුපියල් 2500 බැගින් වන දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බව ද සඳහන් කළා.

දකුණු කොරියාව, තායිලන්තය, ජපානය, මියන්මාරය සහ ලාඕසය ඇතුලු රටවල් 24 ක් මෙවර ජාත්‍යන්තර තරුණ බෞද්ධ සංඝ සභාවේ වාර්ෂික සම්මේලනයට එක්ව සිටියා. ජාත්‍යන්තර තරුණ බෞද්ධ සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමියන්, සම සභාපති පූජ්‍ය ශී කුආම් රූ හිමියන් සහ සම සභාපති පූජ්‍ය බගවාන් සී ජී විමලකීර්ති හිමියන් ඇතුලු ගිහි පැවදි ආරාධිතයින් රැසක් මීට එක්ව සිටියා.