Thursday, March 28, 2024

General line - 0115112241

SLT සහ CCCP කොළඹ ලොව විශිෂ්ඨතම නගරයක් කරයි




ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් සේවා සම්පාදකයා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ලොව වඩාත්ම විශ්වාසදායී සබඳතාව වන නිවසටම ෆයිබර් ඔප්ටික් සබඳතා සැපයීමට අදාල ගිවිසුමකට, කලම්බු සිටි සෙන්ටර් ප්‍රොපටි සමඟ පසුගියදා එළඹුණා.  
මෙම ගිවිසුම මඟින්, මීට පෙර අත්නොවිඳි තත්පරයට 1GB (තත්පරයට මෙගා බයිට් 1000 ක) බාගත කිරීමේ වේගයක් ෆයිබර් ඔප්ටික් හරහා කලම්බු සිටි සෙන්ටර් නිවාස සංකීර්ණය වෙත සැලසීමට නියමිතයි. ඒ සඳහා අති නවීන තාක්ෂණයක් සහ මනා පද්ධති නඩත්තුවක් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සලසන අතර එමඟින් සෑම විටම සුපිරි සහ ගුණාත්මක සේවාවක් සැපයෙනු ඇත.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මෙම සේවාවත් සමඟ තත්පරයට ගිගා බයිට් එකක වේගයක් හිමි බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල සබඳතාවක් සෑම නිවැසියෙකුටම හිමි වන අතර එමඟින්  සිංගප්පූරුව, මැන්හැටන් සහ සෝල් වැනි නගරවල වැසියන් අත්විඳින මෙවන් වේගයක් සහිත අන්තර්ජාල සබඳතා සමඟ ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාල සබඳතා ද සමානුපාත කරනු ඇත. 

කලම්බු සිටි සෙන්ටර් යනු සුඛෝපභෝගී හෝටල්, නිවාස ඇතුළු තවත් විශේෂාංග රැසකින් සමන්විත මහල් 47 ක සුවිශේෂී දේපළ ව්‍යාපෘතියකි. මෙහි සෑම අංගයක්ම SLT ෆයිබර් ඔප්ටික් සබඳතා තුළින් අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් මඟින් බලාත්මක කිරීමට නියමිතයි. අද්විතීය ජීවන රටාවකට සරිලන ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින්  නිවසටම ෆයිබර් ඔප්ටික් සබඳතා සැපයීම සඳහා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ආයෝජනය කරනු ඇත. එමඟින් කලම්බු සිටි සෙන්ටර් ෆයිබර් ඔප්ටික් මඟින් මුළුමනින්ම සන්නද්ධ කෙරෙන පළමු උස් ගොඩනැගිල්ල බවට පත් වෙයි. 

 නිවාස හිමිකරුවන්ට තමන්ගේ කැමැත්ත හා අවශ්‍යතාව පරිදි නාලිකා පෙළගැස්මක් සකස් කර ගැනීම සඳහා කළමනාකරණය කරන ලද රූපවාහිනී පද්ධතියක් තෝරාගැනීමට ද මින් අවස්ථාව හිමිවනවා.     

”කලම්බු සිටි සෙන්ටර් යනු ජාත්‍යන්තරය හා සමගාමී සුවිශේෂී ජීවන රටාවක පහස මෙරටදී විඳීමට අවස්ථාව සලසන ව්‍යාපෘතියක්. එනිසා මෙම ගොඩනැගිල්ලේ සියලූ අංග ඉහළම ප‍්‍රමිතියෙන් යුතුව ඉදි කිරීමට අපි වග බලාගෙන තිබෙනවා. මේ හේතුව නිසා තමයි අපගේ විදුලි සංදේශ සේවා සම්පාදකයා ලෙස එස් එල් ටී ආයතනය අප තෝරා ගත්තේ . එනම්, කලම්බු සිටි සෙන්ටර් හි අපේක්ෂිත ඉහළ ප‍්‍රමිතිය සපුරා ලීමට හැකියාව සහ කැපවීම ඇත්තේ එස් එල් ටී ආයතනයට පමණක් බවට අප විශ්වාස කරන නිසා” යනුවෙන් කලම්බු සිටි සෙන්ටර් හි ප‍්‍රධාන විධායක නිලධාරී ආනන්ද සුන්දරම් පවසනවා.

”විධිමත් ආර්ථික වර්ධනයකට අඛණ්ඩව දායකත්වය සපයන ආයතනයක් ලෙස අප විශ්වාස කරන්නේ එවන් වර්ධනයක් ඇති කිරීමේදී ඩිජිටල් සබඳතා, මූලික හා ඉතා වැදගත් අංගයක් ලෙසයි. ඔප්ටිකල් ෆයිබර් සබඳතා හරහා තත්ත්පරයකට ගිගා බයිට් එකක වේගයෙන් යුත් අන්තර්ජාල සබඳතා දක්වා එස් එල් ටී ෆයිබර් ජාලය වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. එමඟින් අන්තර්ජාතික තලයේ තරඟකාරී වීමට ශ‍්‍රී ලංකාවට ද අවස්ථාව ලැබී තිබෙනවා. කලම්බු සිටි සෙන්ටර් හි සමස්ත සන්නිවේදන අවශ්‍යතාව මැනවින් අධ්‍යයනය කිරීමෙන් පසු අනාගතයේදී මතුවිය හැකි අවශ්‍යතා හා වර්ධනයන් ද සැලකිල්ලට ගනිමින් ඊට පුළුල් සන්නිවේදන විසඳුමක් ලබා දීමට හැකි වීම පිළිබඳව අප ඉතා සතුටට පත් වෙනවා." යනුවෙන් ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර පවසනවා.