Friday, April 19, 2024

General line - 0115112241

"මෝසුල් සටන" අතරතුරදී සාමාන්‍ය වැසියන් 741 ඝාතනය කෙරේ




ඉරාකයේ මෝසුල් (Mosul) නගරය මුදා ගැනීමේ සටන අතරතුර ඉස්ලාමීය රාජ්‍යය කැරලිකරුවන් විසින් අවම වශයෙන් සාමාන්‍ය වැසියන් 741 දෙනෙකු ඝාතනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එමෙන්ම ජිහාඩ් කැරලිකරුවන් විසින් සමූහ පැහැරගැනීම්, සාමාන්‍ය වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම, නිවාස වෙත සිතාමතාම බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සහ පැන යාමට උත්සාහ කරන පුද්ගලයන්ට වෙඩි තැබීම වැනි අපරාධ සිදු කරන බවත් පැවසෙනවා.

2016 වසරේ නොවැම්බර් සිට 2017 වසරේ ජුලි මාසය දක්වා කාලයේ මොසුල් සටනේ වඩාත් උච්චතම අවධිය තුළ ඉරාක හමුදා සහ ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරවලට හසුව තවත් සාමාන්‍ය වැසියන් 461 දෙනෙකු මරණයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධනය පවසනවා.

මාස නවයක් පුරා පැවති සටන්වල දී උන්හිටිතැන් අහිමි වූ සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 824,000 අධිකයි.

මේ අතර එක්සත් ජාතීන් විසින් ඊයේ (02) නිකුත් කරන ලද වාර්තාවකට අනුව හමුදා මෙහෙයුම අතරතුර අවම වශයෙන් සාමාන්‍ය වැසියන් 2,521 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් 1,673 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම පිරිසෙන් වැඩි දෙනෙකු මරණයට පත්ව හෝ තුවාල ලබා ඇත්තේ අයිඑස් ප්‍රහාරවලට ලක්ව බවත් එම වාර්තාවේ දැක්වෙනවා.