Thursday, April 25, 2024

General line - 0115112241

අරපිරිමැස්මෙන් පෙට්‍රල් පාවිච්චි කරන්න (UPDATE)

ඩිල්ෂාන් මඩවල/කසුන් කැළුම්/වසන්ත පිවිතුරු




අනවශ්‍ය බියකින් තොරව ඉදිරියේදී සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් පෙට්‍රල් භාවිත කරන ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

 

ප්‍රමිතියෙන් තොරවූ තෙල් තොගයක් පසුගියදා අයි. ඕ.සී. සමාගම ගෙන්වූ අතර එය ගොඩබෑම අත්හිටුවීමට සිදුවූ බවයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

 

ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් සැපයීමේ දී තරමක අඩුවක් සිදු වූ බවත් අමාත්‍යවරයා කියා සිටියා.

 

මේ වන විට මුළු අවශ්‍යතාවයෙන් සියයට 80ක් පමණ සැපයීමට හැකි වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

 

------------------------

තෙල් හිඟය පිළිබඳව අමාත්‍යවරයාට ලිපියක්(04-11-2017 16:35)

රටතුල නිර්මාණය වී ඇති පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කරමින් ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය විසින්.

එහි ලේකම් ඩී.ජේ. රාජකරුණා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්ව ඇති බවයි.

එම ලිපය පහතින් දකින්න

-------------------

තෙල් හිඟය පිට පළාත්වලටත් පැතිරෙයි! නුවරඑළියට වාසියක්  (04-11-2017 13:35)

කොළඹ අවට මතුව ඇති පෙට‍්‍රල් හිගය මේ වනවිට පිට පළාත්වලටද ව්‍යාප්ත වෙමින් පවතිනවා. පෙට‍්‍රල් නොමැතිවීම හේතුවෙන් කොළඹ ඉන්ධන පිරවුම්හල් රැසක් මේ වනවිට වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. පෙට‍්‍රල් නොමැතිවීම හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවල යතුරු පැදි සහ තී‍්‍රරෝද රථ මහමග නතර වී තිබෙනවා. ඉන්ධන ලබාගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවලද ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම් දක්නට ලැබෙන බව නිව්ස් වාර්තාකරුවන්  කියාසිටිනවා.

කෙසේවෙතත් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ දින 3 කට ප‍්‍රමාණවත් පෙට‍්‍රල් තොග ඇති බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ. 

 

----------------------------------------------

පෙට්‍රල් හිඟයක් නැහැ! ටැංකි පුරවන්න පෝලිමේ ඉන්න එපා  

04-11-2017 10:35

ප‍්‍රමාණවත් පෙට‍්‍රල් සහ බොරතෙල් ඇති බැවින් අනවශ්‍ය පරිදි පෙට‍්‍රල් තොග රැස්කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම අමාත්‍යාංශය පැවසුවේ අද දවස තුළ සැපයුමෙන් සියයට 80 ක් සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුග සහ බලධාරීන් අතර සාකච්ඡාවක් දහවල් පැවැවුණා. අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ දෛනික අවශ්‍යතාවට සරිලන පෙට‍්‍රල් නිකුත් කර ඇති බවයි. පාරිභෝගිකයන් වැඩි වශයෙන් පෙට‍්‍රල් ලබාගැනීම පෙට‍්‍රල් හිඟයට හේතුවී ඇති බවයි ඔහු කියාසිටියේ. පෙට‍්‍රල් හිඟය අද (04) පස්වරුව වනවිට මහගැරෙනු ඇති බවද උපාලි මාරසිංහ වැඩිදුරටත් කියාසිටියා. 

----------------------------------------------

පෙට්‍රල් හිඟය උග්‍ර වෙයි! තත්ත්වය සමනය වෙන්න දින කිහිපයක් ගතවෙයි!

04-11-2017 05:38

කොළඹ අවට ඊයේ (03) පස්වරුවේ සිට ඇති වූ පෙට්‍රල් හිගය මේ වනවිට තවත් උග‍්‍රවී තිබෙනවා. කොළඹ අවට මෙන්ම පිට පළාත්වල ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන් වසා දමා ඇති ආකාරය නෙත් නිවුස් ඊයේ රාති‍්‍රයේ කළ නිරීක්‍ෂණ චාරිකාවකදී දක්නට ලැබුණා. 

ඉන්දීය තෙල් සමාගම විසින් ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ශී‍්‍ර ලංකාවට රැගෙන ඒමත් සමග මෙම පෙට්‍රල් හිඟයක් ඇති වූ බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ. 

මතුව ඇති පෙට්‍රල් හිගය සම්බන්ධයෙන් නෙත් නිවුස් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පැවසුවේ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන රැගත් නෞකාවක් දිවයිනට ළගාවීමට නියමිත බවයි.

අදාළ ඉන්ධන නෞකාව දිවයිනට පැමිණීමෙන් අනතුරුව පවතින පෙට්‍රල් හිගය යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් දින දෙකක්වත් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

පවතින පෙට්‍රල් හිගය මගහැරවීමට ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගය බෙදාහැරීමේ සුදානමක් පවතින බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඞී ජේ රාජකරුණා නෙත් නිවුස් වෙත කියාසිටියේ.  

ඛනිජ තෙල් වෘත්තීය සමිති සිදුකරන මෙම චෝදනාවට නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පැවසුවේ කිසිදු හේතුවක් නිසා ප්‍රමිතියෙන් තොර තෙල් තොගය නොගන්නා බවය.

 

-------------------------------------------------------------

කොළඹ අවට ඉන්ධන හිඟයක්.. නෞකාව නිසා වෙච්ච දේ+

03-11-2017 19:38

කොළඹ අවට ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් හිඟයක් පවතින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

පෙට්‍රල් ලබාගැනීමට පැමිණි රියදුරන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්ද දක්නට ඇති බවයි.

එම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවයි රියදුරන් කියා සිටියේ.

කොළඹ අවට ඉන්ධන පිරවුම්හල්වල පවතින පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු කියාසිටියේ මෙරටට පැමිණීමට තිබූ ඉන්ධන නෞකාවක ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඉදිරියේදී හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරිමට කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් තෙල් හිඟයක් පිළිබඳව වාර්තා වුණා.

ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට මේ වනවිට දිගු පෝලිම් පවතින බව ද අප වාර්තාකරුවන් කියා සිටියා.

ඉන්ධන අවසන් වී ඇති බව පවසා ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට කටයුතු කර ඇති බව ද සඳහන්.

IOC සමාගමේ අන්තනෝමතික තීරණයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණාගෙන් අප විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අද (03) දින පොහොය දිනයක් බැවින් තෙල් බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි.