Saturday, April 20, 2024

General line - 0115112241

හතුරු ඇතුළු හතරක් ලංකාව ගොඩ ගන්න කැමැති වුණත් 'පරිපාලකයන්ගේ දුර්වලතා නිසා' දාන කොන්දේසිය මෙන්න 




ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ මීළග ප‍්‍රධාන පුහුණුකරුවා කවුද යන්න පිළිබඳව මේවනවිට ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

පන්දු රැකීම් පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම සමග එක් වූ නික් පෝතස් මේ වන විට ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටිනවා. 

ඔහු  සිම්බාබ්වේ , ඉන්දියා සහ පාකිස්තානය සමග පැවති තරගාවලිවලිවලදී ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළා. 

එළැඹෙන ඉන්දීය සංචාරයේත් ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ඔහුයි.

කලක් බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුණ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර එළැඹෙන 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් ශී‍්‍ර ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කළ බව කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල ඊයේ(05) ප‍්‍රකාශ කළා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම සදහා මේ වන විට ටෙස්ට් කණ්ඩායම් රැසක පුහුණුකරු ධුර හොබවන සුවිශේෂී පුද්ගලයින් කිහිපදෙනෙකු ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු ධුරය භාර ගැනීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වනවා. 

කෙසේ වෙතත් කොන්දේසි සහිත ගිවිසුමකට එළැඹෙන්නේ නම් පමණක් ඔවුන් එම ධුරයට භාර ගැනීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ. 

ඔවුන්ගේ ප‍්‍රධානතම කොන්දේසියක් වී ඇත්තේ වත්මන් පරිපාලනය ඉවත්වී ඊට විරුද්ධ  පාර්ශ්වය කි‍්‍රකට් පරිපාලනයට පැමිණියහොත් තමන් එම ධුරයෙන් ඉවත් වන බවයි. 

මෙම කොන්දේසිය ඉදිරිපත් කළ පුහුණුකරුවනු අතර පෝල් ෆ‍්‍රාබේස්, චන්දික හතුරුසිංහ , ජෙෆ් මාෂ් සහ අනිල් කුම්බ්ලේද සිටින බවයි වාර්තා වන්නේ. 

පෝල් ෆ‍්‍රාබේස්, ජෙෆ් මාෂ් සහ චන්දික හතුරුසිංහ මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරු දරනු ලැබුවා. 

එවක පරිපාලනය සහ මෙම පුහුණුකරුවන් අතර ගැටුම්කාරී තත්වයන් මතුවූ  බවට ඇතැම් මාධ්‍ය වාර්තාද පළ වුණා. 

මේ හේතුවෙන් මෙම පුහුණුකරුවන් හදිසියේම එම ධුරවලින් ඉවත් වූයේ එවකට පරිපාලනය පුහුණුකරුවන්ට එල්ල කළ දැඩි බලපෑම් හේතුවෙන් බවයි පැවසුනේ.

2014 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගන්නා අවස්ථාවේ ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ පෝල් ෆ‍්‍රාබේස් හදිසියේ එම ධුරයෙන් වීම පිළිබඳවද එම කාලයේදී දැඩි කතා බහට ලක් වුණා. 

අතීත තත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම පුහුණුකරුවන් මෙම කොන්දේසිය වත්මන් කි‍්‍රකට් පරිපාලනයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා  වන්නේ.