Tuesday, April 16, 2024

General line - 0115112241

නැවේ තෙල් පරීක්ෂාව තවදුරටත් - ඉන්ධන බෙදාහැරීම ගැන ඛනිජ තෙල් ගබඩා පර්යන්තය පැහැදිළි කරයි (UPDATE)

හර්ෂිකා සංජීවනී




නෙවස්කා ලේඩි නෞකාවේ ඉන්ධන පොම්ප කිරීම පස්වරු 4.00 පමණ වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ඛනිජ තෙල් ගබඩා පර්යන්තය පවසනවා.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජේරත්න කියා සිටියේ අදාළ නෞකාවේ ඉන්ධනවල ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම තවදුරටත් සිදුවන බවයි. 

කෙසේවෙතත් ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාව සැපිරිම සඳහා අද (09) දිනයේත් මුතුරාජවෙල සහ කොළොන්නාව සංකීර්ණවලින් ඉන්ධන තොග පිටත්කර හැරිය බවයි  කළමනාකරණ අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

කෙසේවෙතත් මීට පෙර ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කළේ ඉන්ධන බෙදා හැරීම අද  දහවල්‍ 2.00 පමණ වනවිට ආරම්භ කිරීමට හැකි බවයි.

---------------------------------------

නැවේ ආපු තෙල්වල තත්ත්වය මෙන්න - තවත් අනු පරීක්ෂණ කිහිපයක් සිදු කරමින් යයි (UPDATE)

(09-11-2017 08:16)

 

ඊයේ (08) රාත‍්‍රියේ දිවයිනට පැමිණි පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් හතලිස් දහසකත් රැගත් නෙවස්කා ලේඩි නෞකාවේ ඇති ඉන්ධන පිළිබඳ සිදු කළ පරීක්ෂාවේ වාර්තාව ලැබී තිබෙනවා.

ඒ අනුව එම නැවේ ඇති ඉන්ධන ප‍්‍රමිති සහගත බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

 සිදු කළ මූලික රසායනාගාර පරීක්ෂණ 2කින් ඒ බව සහතික වූ බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉන්ධන ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා තවත් අනු පරීක්ෂණ කිහිපයක් සිදු කරමින් පවතිනවා. එම පරීක්ෂණවලින් පසු තෙල් ගොඩබෑම ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.  

-----------------------------

නැව පැමිණෙයි - ඉන්ධන බෙදාහරින වෙලාව කියයි

(09-11-2017 05:22)

පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් හතලිස් දහසක් රැගෙන මෙරටට පැමිණි ‘නෙවස්කා ලේඩි’ නෞකාවේ ඉන්ධන බෙදා හැරීම අද (09) දහවල්‍ 2.00 පමණ වනවිට ආරම්භ කරන බව ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් උපාලි මාරසිංහ කියාසිටියේ පවතින ඉන්ධන අර්බුදය නිමා කිරීම සඳහා කඩිනමින් කටයුතු කිරීමට සිය කාර්ය මණ්ඩල සූදානමින් පසුවන බවයි.

‘නෙවස්කා ලේඩි’ නෞකාවේ ඉන්ධනවල ප‍්‍රමිතිය පරික්ෂා කිරීම මේ වනවිට සිදු වනවා. එහි තීරණ පෙරවරු 7.00ට පමණ ලැබීමට නියමිත බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. 

ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදයක් ඇති නොවනු ඇතැයිද අමාත්‍යාංශ ලේකම්වරයා කියාසිටියා. ඔහු සඳහන් කළේ ඉන්දියාවෙන් ඇණවුම් කළ පෙට‍්‍රල් රැගත් තවත් නෞකාවක් අද (09) රාති‍්‍රයේ දිවයිනට පැමිණීමට නියමිත බවයි.

පෙට‍්‍රල් හිඟය හේතුවෙන් දිවයින පුරා ජනතාව දින හයක් පමණ විවිධ ගැටළුවලට මුහුණ දුන්නා. කොළඹ මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවලද ඉන්ධන පිරවුම්හල් ආශි‍්‍රත දිගු පෝලිම් දක්නට ලැබුණා.

රට තුළ ඇති වූ පෙට‍්‍රල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා ඊට වගකිවයුතු පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගතයුතු බවයි ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අවධාරණය කෙරුණේ.