Thursday, April 25, 2024

General line - 0115112241

සංහිඳියාවට නව අරුතක් දෙමින් මාලිගාවත්තේ ඉස්ලාම් දරුවෙකු පැවිදි දිවියට (PHOTOS)

සමන් විජය බංඩාර - කෑගල්ල




කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ 10 හැවිරිදි ඉස්ලාම් දරුවෙකු ගිහි ජීවිතය අත හැර සසුන් ගතවීමේ පුවතක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

අරණායක විහාරස්ථානයකට පැමිණ පිරිවෙන් අධ්‍යාපනය යොමුව ඇති මෙම දරුවා පැවිදිවීමෙන් අනතුරුව මොරාගම්මන ශ්‍රී මයුරපාද රාජමහ විහාරස්ථානයෙහි වැඩ වසමින් සිටිනවා.

උපතින් ඉස්ලාම් ජාතිකයකු වන මෙම දරුවා සසුන්ගත වීමට ප‍්‍රථම ඔහුගේ නම වන්නේ මොහොමඩ් ඉසඩ් සමීර් සුවෙර් යනුවෙන්. මව චිත‍්‍රා ශ‍්‍රිමති චලිවර් වන අතර වයස අවුරුදු 36ක්. පියා මොහොමඩ් ඉසඩ් සුවෙර්. ඔහු වයස අවුරුදු 33ක ඉස්ලාම් ජාතිකයෙක් වනවා.

මොරාගම්මන විහාරස්ථානයේදී පසුගිය දිනක පැවිදි දිවියට පිවිසෙන මෙම ඉස්ලාම් දරුවා දැන් හඳුන්වන්නේ මාලිගාවත්ත චන්දකිත්ති යන නාමයෙන්.

මොරාගම්මන ශ‍්‍රී මයුරපාද රජමහ විහාරයේ විහාරාධිපති පුවක්මොටේ ධම්මරතන නා හිමියෝ ඒ පිළිබඳව මෙසේ පැවසුවා.

“මේ පැවිදිවෙලා ඉන්න හිමියන් ගිහි කාලයේදි ළමයෙක් විදිහට ලැබුණේ මාගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක වන ජඹුරේවල චන්ද්‍රරතන හිමියන් වහන්සේගෙන්. උන්වහන්සේ තමයි මට කීවේ මේ වාගේ අසරණ දරුවෙක් ඉන්නවා අපේ හාමුදුරුවන්ට පුළුවන්ද මම ගෙනත් දුන්නොත් අධ්‍යාපනය ලබා දෙන්නට කියලා.  ඒ අනුව මාගේ කැමැත්ත ලැබුණට පස්සේ පොල්ගහවෙලට කොළඹ ඉදන් මෙ ගිහි දරුවා උන් වහන්සේ විසින් එක්කරගෙන විත් මට භාර කළා. ඊට පස්සේ එක් කරගෙන ඇවිත් දරුවා පිරිවෙන් අධ්‍යාපනයට යොමු කළේ අරණායක පොල්අඹේගොඩ පිරිවෙන් විහාරස්ථානයට.

දරුවා පිරිවෙන් ගිහින් ආපු මුල් දවස් වල පටන්ම බොහෝ දිනයන්හි දී මා සමග සහ අපේ පන්සලේ පිරිවෙන් යන අනෙකුත් හිමිවරුන් දෙනමක් ඉන්නවා ඒ අයටත් කියලා තිබුණේ ගිහිකම අත්හැර මහණ වෙන්න කැමති බවයි. ඉස්ලාම් දරුවෙකු වන නිසාත් මේ සඳහා දෙමාපියන්ගේ අවසරයක් ලැබෙන්නේ නැති නිසාත් මහණ වීමට අවශ්‍ය නැති බව අපි මේ දරුවාට කුඩා කාලයේ කීවත් මේ පුතා නිතරම කීවේ මහණ වීමට කැමති බවයි.

ඔහුගේ කැමැත්ත නිසාම අවසානයේ දරුවා පැවිදි කරන්නට අවශ්‍ය කටයුතු සකස් කෙරුණේ දෙමාපියන්ගේ අවසරයෙන්. මේ මහණ කම සිදු කිරීමට මත්තෙන් දෙමාපියන්ටත් අපි කීවා දරුවා පැවිදි කරනවාද නැද්ද කියලා තීරණය ගන්න කියලා. නමුත් ඒ දෙමාපියොත් දරුවාට මහණ වෙන්න එපා කීවා. එකට දරුවාගෙන් කැමැත්ත ගන්න බැරි වුණා. පස්සේ කර ගන්නම දෙයක් නැති තැන සියලු දෙනාගේම කැමැත්තෙන් මේ දරුවා සසුනට ඇතුළත් වූවා. ඒ මාලිගාවත්ත චන්දකිත්ති නමින්. මේ දරුවා අද හොඳ ආදර්ශවත් භික්ෂු චරිතයක්.”