Friday, April 19, 2024

General line - 0115112241

වධ හිංසනයක් ගැන හෙළි කරන උතුරේ ප්‍රධාන ඇමතිවරයා

දිනසේන රතුගමගේ




යුද සමයේ ආරක්ෂක අංශවලින් උතුරේ ද්‍රවිඩ පුද්ගලයින් පිරිසක් වධහිංසා සහ ලිංගික අතවරවලට ගොදුරු වී ඇතැයි තොරතුරු ලැබී තිබෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන් පවසනවා.

ඔහු කියා සිටියේ අදාළ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් දැනටමත් අධිකරණවල නඩු විභාග වෙමින් තිබෙන බවයි.

එවැනි නඩු පැවරීමක් කර නොමැති කිහිපදෙනකු තමන් හමුවූ බවත් ඉදිරියේදී ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළබඳව  ඔවුන් දැනුවත් කළ බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසනවා.

ඔහු මෙම අදහස් පළකළේ යාපනයේදී මාධ්‍යවේදීන් අමතමින්.

සීවී විග්නේෂ්වරන් පවසන්නේ මෙම පිරිස ආරක්ෂක අංශවල රැකවරණයෙන් මිදී ආ සමයේ දී එවැනි සිද්ධීන් පිළිබ තොරතුරු වසන් කර ඇති බවයි.

ඔවුන් එවැනි තොරතුරු හෙළිකිරීමට බියෙන් පසුවීම ඊට හේතුව බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඉදිරියේදී සිදුවූ වධහිංසා පිළිබ තවත් නඩු පැවරීම් සිදුවනු ඇති බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දැනට යුරෝපයේ පදිංචිව සිටින දෙමළ ජාතිකයින් 50 දෙනකුගෙන් පමණ ලබාගත් බව කියන ප්‍රකාශ උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත්  සේවය එම තොරතුරු වාර්තා කර තිබුණේ මෙරට හමුදාව සහ පොලිසිය වෙත චෝදනා එල්ල කරමින්.

කෙසේවෙතත් මෙරට හමුදා භාරයේ සිටියදී වදහිංසාවට ලක්වූයේ යැයි විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු කළ බව කියන ප්‍රකාශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසුවේ ශ්‍රී ලංකා යුද හමුදාව භාරයේ සිටි කිසිඳු පුද්ගලයකුට එවැනි වධහිංසාවක් නොවූ බවට සහතික විය හැකි බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොලීසිය භාරයේ සිටි අයකුට වුවද එවැන්නක් සිදුවූ බවට තමන් විශ්වාස නොකරන බවයි යුද්ධ හමුදාපතිවරයා පවසන්නේ.

ආරක්ෂක අංශ භාරයේ සිටින්නන්ට වධහිංසා පැමිණවීමේ කිසිදු අවශ්‍යතාවක් මෙරට ආරක්ෂක අංශවලට නොමැති බව ද අවධාරණය කෙරුණා.