Tuesday, April 23, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රිගේ පෙට්‍රල් බවුසරයට භූමිතෙල් කළවම් කළ ජාවාරම හෙළි වෙයි (PHOTOS)

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




ඉන්ධන පිරවුම්හල් වෙත ගෙනයන පෙට්‍රල්වලට බවුසරය තුළදීම භූමිතෙල් කලවම් කරන ජාවාරමක් හෙළි වී තිබෙනවා.

දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් අද (13) දහවල් මෙම වැටලීම සිදු කළා.

ගලේවෙල මකුලුගස් වැව ප්‍රදේශයේ පිහිටි අතහැර දමා ඇති කළුගල් මෝලක බවුසර් රථය සගවා මෙම ජාවාරම සිදු කරමින් ගොස් තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.එම්. මහරුෆ්ට අයත් ඉන්ධන බවුසරයකින් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවටයි වැඩි දුරටත් හෙළි වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. එම්. මහරුෆ්ගෙන් සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ ජාවාරම සම්බන්ධයෙන් තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම මෙම ස්ථානය වටලන විටත් බවුසර් රථයේ රියදුරු සහ රිය සහයකවරයා ඉන්ධන බවුසරයේ මුද්‍ර ඉවත්කොට බටයක් යොදා  ලීටර් සියයකට අධික පෙට්‍රල් ප්‍රමාණයක්  පිටතට ගෙන තිබෙනවා.  

ඒ අනුව ඉවත් කරන ලද පෙට්‍රල් ප්‍රමාණයට ගැලපෙන පරිදි  වෙනත් ලොරි රථයකින්  රැගෙන පැමිණි භූමිතෙල් නැවත ඉන්ධන බවුසරයට මුදා හැරිමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී ඉන්ධන බවුසරය සහ කුඩා ප්‍රමාණයේ භූමිතෙල් ලොරි රථය පොලිස් බාරයට ගෙන තිබෙනවා.  ඉන්ධන බවුසරයේ රියදුරු සහ රිය සහයකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර භූමිතෙල් රැගෙන ආ කුඩා ලොරි රථයේ රියදුරු පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.