Friday, March 29, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට ගිය ආණ්ඩුවේ ඇමති!

හේමන්ත කහවලගේ




ඒකාබද්ධ විපක්ෂය ඊයේ (13) පස්වරුවේ පැවැති සාකච්ඡාවකට අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත්ද සහභාගි වී ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. පාර්ලිමේන්තුවේ කාමර අංක 7හි මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර සුසිල් පේ‍්‍රමජයන්ත් අමාත්‍යවරයා ඊට කැඳවාගෙන විත් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම විසින්. අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් සාකච්ඡාව පැවැති පාර්ලිමේන්තුවේ කාමර අංක 7ට ඇතුළු වනවාත් සමග ඒ වනවිටත් එහි සාකච්ඡාවට සහභාගි වී සිටි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් අත්පොළසන් දී ඔහු පිළිගත් බව ද දේශපාලන ආරංචි කියාසිටියා. 

අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත් මෙම සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව පුළුල් සන්ධානයක් යටතේ එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා සිදුවන බවයි.  ඒ සඳහා ඉදිරිපත් කිරීමට සාකච්ඡා කෙරෙන යෝජනා 3ක් ද ඔහු විසින් අනාවරණ කර තිබෙනවා. 

කෙසේවෙතත් සුසිල් පේ‍්‍රමජයන්ත් අමාත්‍යවරයා සාකච්ඡාවට සහභාගිවීමට පෙරාතුව ද මෙම කරුණු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතතා ද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් සමගද සාකච්ඡා කර තිබූ බවයි දේශපාලන ආරංචි පවසන්නේ. එවැනි පුළුල් සන්ධානයක් ඇතිවන්නේ නම් එහි සභාපතිත්වය සහ ලේකම් ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව එහිදී ප‍්‍රකාශ වී තිබෙනවා. 

මේ පිළිබඳ අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ඉදිරිපත් වී ඇති යෝජනාවලට තමන් එකඟ නොවන බවයි. එවැනි සන්ධානයක් ඇති කරගතහොත් තමන් නියෝජනය පුත්තලම දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කරන බව ද ඒවායේ ප‍්‍රචාරක කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව යොදාගන්නා බව ද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත් ඇතිකරගන්නා පුළුල් සන්ධානය නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ලේකම් ධුර ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන්නේ නම් එක්ව තරග කිරීමේ වරදක් නොමැති බවයි සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි පවිත‍්‍රා වන්නිආරච්චි ද මෙහිදී අදහස් පළකරමින් ප‍්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට සැළකිය යුතු වාසි සැලසෙන්නේ නම් පමණක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කළ යුතු බවයි. කෙසේවෙතත් පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරිය අදහස් පළකරමින් සිටියදී සාකච්ඡාව පැවැති පාර්ලිමේන්තුවේ කාමර අංක 7ට ඇතුළු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ එක්ව තරඟ කිරීමේ යෝජනාවට දැඩිව අකමැත්ත පළකර තිබෙනවා. එක්ව තරග කිරීමට නම් තනතුරු පවා අතහැර තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන්නේ මන්දැයි ඔහු එහිදී ප‍්‍රශ්න කළ බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

මෙම සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහභාගි වී සිට නැහැ. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් වීරකුමාර දිසානායක සහ  පද්ම උදයශාන්ත යන මන්ත‍්‍රීවරුන් පමණක් සාකච්ඡාවට සහභාගි වී සිටි බව දේශපාලන ආරංචි කියා සිටියා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, හිටපු ජනාධිපතිවරයාට පැවසුවේ "ඔබතුමාට මේ රටේ මිනිස්සු සලකනව, ඔබ තුමාට මේ රට ඇතුලෙ කීර්තියක් තියෙනව. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 8000ක් මැතිවරණයට ඉදිරිපත් වෙනව. අපි වෙනම තරග කළොත් ඒ 8000ම ඔබතුමාට බනිනව. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්ව මැතිවරණයට ඉදිරිපත් වීම හොඳයි කියලයි මගේ අදහස්" යැයි පවසා තිබෙනවා.