Friday, April 19, 2024

General line - 0115112241

තෙල් අර්බුධය රහස් පොලිසියට! මැති ඇමතිවරු ගැටෙයි! කැබිනෙට්ටුව උණුසුම්

හේමන්ත කහවලගේ




රට තුළ මතු වූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කැබිනට් රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ අනු කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමත් සමගයි. ඉකුත්දා ඇති වූ පෙට‍්‍රල් අර්බුදයත් සමග ඛනිජ තෙල් සංස්ථාව තුළ සිදුවූ හැසිරීම් රටා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මෙහිදී සඳහන් කළේ. ඊට ජනාධිපතිවරයාද සිය එකඟත්වය පළ කර තිබෙනවා. 

මෙහිදී හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අමාත්‍ය චන්දිම විරක්කොඩි කියා සිටියේ අමාත්‍ය අර්ජුණ රණතුංග සිදු කරන ප‍්‍රකාශය සමග තමන් එකඟ නොවන බවයි. මෙම ගැටලූව සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වීමට ඉඩ ඇති බවයි චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ. ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය අර්ජුණ රණතුංග කියා සිටියේ මේ සම්බන්ධයෙන් මතුව ඇති අසත්‍ය ප‍්‍රචාර නිවැරදි කිරීමට තමන් කටයුතු කරන බවයි. 

වෙළඳ නෞකා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර අතර කතාබහක ඇති  වී තිබෙනවා. එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර වෙළඳ නෞකා වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් මෙරට නැව් සමාගම් සහ හා විදේශීය නාවික ඒජන්තවරුන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවද මෙහිදී මුදල් අමාත්‍යවරයා පැවසුවා.

අය වැයෙන් යෝජනා වූ මෙම නව තීරණයත් සමගම දේශීය නැව් සමාගම් යම් අර්බුධයකට පත්ව ඇති බවද සඳහන් වුණා.

කෙසේවෙතත් ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්ද සමරසිංහ පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන්ගෙන් ද විමසා කටයුතු කළේ නම් එය වඩාත් යෝග්‍යවනු ඇති බවයි. ඊට මැදිහත් වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.