Thursday, April 18, 2024

General line - 0115112241

කොළඹ ඉඩම් මිල වෙනස් වෙයි

ඉෂාර සුපෙම් මානගේ




නිශ්චල දේපළ අංශයෙහි ප්‍රවර්ධනය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දර්ශක කිහිපයක් සම්පාදනය සහ විශ්ලේෂණය කරනු ලැබ තිබෙනවා.
 
මේ අනුව 1998 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් අර්ධ වාර්ෂිකව ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලබනවා. 

මෙම දර්ශකය ගණනය කිරීමේදී තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සපයන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5ක් ආවරණය වන පරිදි ප්‍රදේශ 50ක පමණ ඉඩම් මිල ගණන් භාවිතා කරනු ලැබ තිබෙනවා.

මෙහිදී ඉඩම් භාවිතය පිළිබඳ වන විවිධත්වය සැළකිල්ලට ගෙන නේවාසික, වාණිජ සහ කාර්මික යන ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරනු ලැබෙනවා.

අදාළ අනු දර්ශක තුනෙහි සාමාන්‍යය ඇසුරෙන් ඉඩම් මිළ දර්ශකය සම්පාදනය කෙරෙනු ඇති.

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල පිළිබඳව වන මෑතකාලීන ප්‍රවණතාවයන් නිරූපණය කරමින් ඉඩම් මිල දර්ශකය 2017 ජුනි මස අගදී පසුගිය වසරට සාපේක්ෂව සියයට 12.6කින් වර්ධනය වී ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

නේවාසික, වාණිජ සහ කාර්මික යන අනු දර්ශක තුනෙහිම ඉහළ යෑම මේ සඳහා හේතු වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.