Friday, April 19, 2024

General line - 0115112241

ඩිජිටල් ක්ෂේත‍්‍රයේ දැක්වූ විශිෂ්ටතාවන් වෙනුවෙන් SLT Zero One සම්මාන උළෙල මෙවරත් සූදානම්




”ඩිජිටල් ක්ෂේත‍්‍රයේ දැක්වූ විශිෂ්ටතාවන් වෙනුවෙන් SLT Zero One සම්මාන උළෙල” ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අඛණ්ඩව දෙවැනි වරටත් සංවිධාන කරනවා.

ඩිජිටල් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතා ඇගයීම වෙනුවෙන් 2016 වසරේදී ආරම්භ කෙරුණු SLT Zero One සම්මාන උළෙල අතිශය සාර්ථකත්වයක් අත්කර ගත් අතර ව්‍යාපාරික ලෝකයේ බොහෝදෙනා ඒ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වනවා.

එය සැලකිල්ලට ගනිමින් SLT Zero One සම්මාන උළෙල 2017 පරිච්ඡේදය (SLT #01Award) එස්. එල්. ටී. විසින් ඉදිරිපත් කරන බව ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිවේදනය කරනු ලබන්නේ මහත් අභිමානයෙනි. 

දිවයිනේ නන් දෙසින් වාර්තා වන ඩිජිටල් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතා හඳුනා ගනිමින් ඊට නිසි ඇගයීමක් ලබා දෙන සුවිශේෂී වැඩසටහනක් ලෙස SLT Zero One  සම්මාන උළෙල හැඳින්විය හැකියි.

මෙවර උළලේදී ඩිජිටල්කරණය කෙරුණු නිෂ්පාදන / සේවා ක්ෂේත‍්‍රයේ හොඳම ව්‍යාපාරය සහ හෝ පුද්ගලයන්, ඩිජිටල්කරණයට ලක් වූ හොඳම මෙහෙයුම් ක‍්‍රියාවලිය, හොඳම ප‍්‍රජා බලගැන්වීමේ වැඩසටහන, හොඳම ඩිජිටල් මාධ්‍ය ඒජන්සිය, හොඳම වෙබ් අඩවිය හෝ හොඳම මයික්‍රෝ අඩවිය, හොඳම ජංගම දුරකථන උපයෝගීතාව යන කාණ්ඩයන් ඇගයීමට ලක් කරනු ඇති.   

”ඩිජිටල් සේවා කර්මාන්තය සඳහා මේ දක්වා නොලැබුණු නිසි පිළිගැනීම SLT Zero One  වැඩසටහන හරහා හඳුනාගෙන එය ලබා දීමට කටයුතු කර තිබෙනවා. රටක් වශයෙන් ගත් කල අප මෙම ඩිජිටල් ක්ෂේත‍්‍රය තුළ අත්කර ගෙන තිබෙන දෑ අතිවිශිෂ්ටයි. එබැවින් මෙය යථාර්තයක් කිරීමට උපකාරී වූ එම අතිවිශිෂ්ට නිෂ්පාදන/ සේවාවන්, වෙළඳ ආයතන හා පුද්ගලයන් නිසි පිළිගැනීමකට ලක් කිරීම මෙමඟින් සිදු කෙරනවා.” යනුවෙන් ශ‍්‍රී ලංකා ටෙලිකොම් පී එල් සී හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර පැවසුවා.   

අයදුම්පත් භාර ගැනීම ආරම්භ කරන දිනය සහ අවසන් කරන දිනය පිළිබඳ ඉදිරි මාස කිහිපයේදී සිය ඩිජිටල් හා සමාජ මාධ්‍ය ඔස්සේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිල වශයෙන් නිවේදනය කරනු ඇති. එමෙන්ම 2017 පරිච්ඡේදය සඳහා වන කීර්තිමත් විනිසුරු මණ්ඩලය ද ඉදිරියේදී නිවේදනය කිරීමට නියමිතයි.