Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ගුවන් පියාසර කටයුතු සඳහා ඊයේ සිට නවීනතම අධි තාක්ෂණය එක්වෙයි




ලෝකයේ ගුවන් පියාසර කටයුතු සඳහා යොදා ගනු ලබන ස්වයංක්‍රීය ආරක්ෂිත නිරීක්ෂණ A.D.S.B (Automatic Dependence Surveillance - Broad Casting) තාක්ෂණය ශ්‍රී ලංකාවේදී ඊයේ (15) දින සිට ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකන් ගුවන් සේවා සහා ගුවන් තොටුපළ සමාගම පවසන්නේ  මෙහි සමාරම්භක අවස්ථාව රත්මලාන ගුවන් තොටුපළේ පාලක මැදිරියේදී සිදු කෙරුණු බවයි. 

A.D.S.B (Automatic Dependence Surveillance - Broad Casting)  තාක්ෂණය  ගුවන් ගමන් සඳහා මෙතෙක් ලෝකයේ භාවිතා කළ රේඩාර් තාක්ෂණය වෙනුවට සොයා ගත් නවීනතම අධි තාක්ෂණ ක්‍රමවේදයයි.

චන්ද්‍රිකා මගින් සිදු කෙරෙන A.D.S.B තාක්ෂණය යොදා ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවට ප්‍රතිලාභ රැසක් ලැබෙන බව ගුවන් සේවා ඉංජිනේරුවරුන් පවසනවා.

ඒ අනුව රේඩාර් කුළුණු සවි කිරීමට හා නඩත්තු කිරීමට යන පිරිවැය අඩු කර ගැනීමට හැකිවීම, පරිසර හිතකාමී සේවාවක් ලබාදීම, ක්ෂණිකව ගුවන්යානා තිබෙන ස්ථාන පිළිබඳව නිරවද්‍යව තොරතුරු ලබාගැනීම වැනි ප්‍රධාන කරුණු ඉටු කරගැනීමට හැකිවන බව ගුවන් ගමන් පාලකවරුන් සහ තාක්ෂණික ඉංජිනේරුවරුන් අවධාරණය කරනවා.

කටුනායක, මත්තල, පිදුරුතලාගල, කිලිනොච්චිය සහ සූරියකන්ද යන ස්ථානවල පිහිටුවා ඇති කුළුණු මගින් ගුවන් ගමන් පිළිබඳව ස්වයංක්‍රීය ආරක්ෂණ නිරීක්ෂණ දත්ත රත්මලානේ පිහිටි ප්‍රධාන පාලක මැදිරිය වෙත ලබාගන්නා අතර එමගින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව තුළ තිබෙන යානාවල මෙහෙයුම් කටයුතු ක්ෂණිකව සිදු කර ගැනීමට හැකි වන බවද ගුවන් ගමන් පාලකවරුන් අවධාරණය කරනවා. එමෙන්ම ලෝකයේ ඕනෑම ස්ථානයක තිබෙන ගුවන් යානා පිළිබඳව තොරතුරු ලබා ගැනීමටද මෙම ක්‍රමවේදය තුළින් හැකියාව ලැබෙනවා.