Thursday, March 28, 2024

General line - 0115112241

ඉදිරියේදී විදුලි මෝටර් රථවලට විදුලිය දීම ගැන විදුලිබල මණ්ඩලයෙන් පැහැදිළි කිරීමක්

ඉෂාර සුපෙම් මානගේ




මෙවර 2018 අයවැය තුළින් මුදල් අමාත්‍යවරයා යෝජනා කර තිබෙන පරිදි විදුලි මෝටර් රථ සඳහා විශාල බදු සහන ලැබුණහොත් කෙටි කාලයක් තුළ මෙරට විදුලි මෝටර් රථ විශාල සංඛ්‍යාවක් දැකිය හැකි වනු ඇති.

විශේෂයෙන් මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාව තුළින් සඳහන් කළ පරිදි රජයේ අපේක්ෂාව වනුයේ ඛණිජ තෙල් මගින් ධාවනය වන මෝටර් රථ වෙනුවට 2025 වසර වන විට රජයේ සියලු වාහන දෙමුහුන් හෝ විදුලිය මගින් ධාවනය වන වාහන බවට පත් කිරීමටයි.

එමෙන්ම 2040 වන විට සමස්ථ රටේම වාහනවල මෙම වෙනස දැකීම රජයේ අරමුණ වනවා.

මේ හේතුවෙන් විදුලි මෝටර් රථයක් සඳහා රුපියල් ලක්ෂ 10ක පමණ බදු සහනයක් ලැබෙනු ඇති බවයි මුදල් අමාත්‍යවරයා පසුගිය අයවැය කතාව මගින් පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් කෙටි කාලයක් තුළ මෙරටට විදුලි මෝටර් රථ රැසක් පැමිණියහොත් ඊට මුහුණදීම විදුලි බල මණ්ඩලයට අභියෝගයක් බවයි විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පෙන්වා දෙන්නේ.

විදුලි මෝටර් රථ හේතුවෙන් රටේ විදුලි ඉල්ලුම ඉහළ යන බවත් එම ඉල්ලුම ලබාදීම සඳහා විශේෂ සැළසුම් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් සඳහන් කළා.

දැනට වියලි කාලගුණය යටතේ උවද මෙගාවොට් 4000ක විදුලියක් විදුලිබල මණ්ඩලය විසින් නිපදවන අතර ඉන් රටේ සමස්ථ පරිභෝජනයෙන් පසුවත් කොටසක් ඉතිරි වන බවද පෙන්වා දුන්නා. ඒ අනුව විදුලි මෝටර් රථ සඳහා විදුලිය ලබා දීම අභියෝගයක් වුවත් එය මුහුණදිය හැකි අභියෝගයක් වනු ඇති බවයි පැහැදිළි කෙරුණේ.

මේ අතර දැනටමත් පාරිභෝගිකයින් සඳහා හඳුන්වා දී ඇති කාල පාදක ගාස්තු ක්‍රමය විදුලි මෝටර් රථ භාවිතා කරන පාරිභෝගිකයන්ට වාසි දායක සහන මිලට විදුලිය ලබාගත හැකි තත්ත්වයක් වනු ඇති බවද සඳහන් කෙරුණා.

විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති සූර්යබල සංග්‍රාමය මේ සඳහා හොඳ විසඳුමක් බවද සඳහන් කෙරුණා. මේ වන විට සුළං බලාගාර හරහා මෙගාවොට් 120ක් ද සූර්ය බලාගාර හරහා මෙගාවොට් 51ක් ද වහලය මත සවිකරන සූර්ය බලාගාර හරහා මෙගාවොට් 90ක්ද ජාතික පද්ධතියට එක් කෙරෙනවා.