Thursday, March 28, 2024

General line - 0115112241

යාපනය රත්කරමින් කඩු හරඹ පෙන්වූ කල්ලි ගැන තීරණයක් ගනී.. වහාම ක්‍රියාත්මක වන නීතිය මෙන්න

දිනසේන රතුගමගේ - වවුනියාව




යාපනයේ නීතිය හා සාමය බිඳවැටෙන අන්දමට ක්‍රියා කරමින් අහිංසක වැසියන් කඩුවලින් කපා දමමින් ජනතාව බියවද්දන සියළුම කල්ලි ඉතා ඉක්මණින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චෙලියන් යාපනයේ පොලිස් ප්‍රධානියාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අද (16) සවස යාපනය මහාධිකරණ සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

ඉලන්චෙලියන් ගේ ආරාධනයකට අනුව උතුරු පළාත් සභාවේ නියෝජය ලේකම් නාගරත්නම් නිශාන්තන්, උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු ඇතුළු කිහිප දෙනෙකුම සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙවැනි සිද්ධීන් වලට සම්බන්ධ වන පුද්ගලයින්ට ඇප ලබාදීමට පොලිසිය මැදිහත් නොවන ලෙසයි.

යාපනයේ සාමාන්‍ය ජනජීවිතයට හානි පමුණුවන හා ඊට බාධාකරන මෙන්ම නීතියට පටහැනිව ක්‍රියා කරන ඕනෑම පුද්ගලයෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් කොට ඇති ඉලන්චෙලියන් විනිසුරුවරයා පසුගිය දින කිහිපයේම යාපනයේ විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සහභාගී වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා මෙන් වාර කීපයක්ම පොලිසියෙන් ඉල්ලීම් කර තිබෙනවා.

යාපනයේ වැසියන්ට මේ අවස්ථාවෙදී සාධාරණ සමාජයක ජීවත්වීමේ අවශ්‍යතාවයක් ඇති බව සියළු දෙනාම පිළිගත යුතු කාරණයක් බවත් ඊට හානි පමුණුවන පිරිස් වලට නිදහසේ සැගවී ජීවත් වීමට ඉඩ නොතැබිය යුතු බවත් යාපනය මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ.