Thursday, April 18, 2024

General line - 0115112241

ඉන්දියාව යළිත් ශ්‍රී ලංකාවට බලපෑමක් කරන්න සැරසෙයි!




හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත සෞම්‍යමූර්ති තොන්ඩමන්ගේ නම සඳහන් පුවරු රජයේ ආයතනවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සමග සාකච්ඡා කරන බව ඉන්දීය ආණ්ඩුව පවසන බව බීබීසීය පවසනවා.

තමිල්නාඩු ප්‍රාන්තයේ විපක්ෂනායක එම්.කේ ස්ටාලින් විසින් ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් වෙත  යොමු කරන ලද ලිපියකට සහ ට්විටර් පණිවුඩයකට ට්විටර් සමාජ ජාලය ඔස්සේ පිළිතුරු දෙමින් ඇය ඒබව පවසනවා. 

ශ්‍රී ලංකා ආණ්ඩුව හිතුවක්කාරී ලෙස හිටපු අමාත්‍යවරයාගේ නම සඳහන් පුවරු රජයේ ආයතනවලින් ඉවත්කරනු ලැබ ඇති බව සිය දීර්ඝ ලිපියේ සඳහන් කරන තමිල්නාඩු ප්‍රාන්තයේ විපක්ෂනායකවරයා, එය විග්‍රහ කර තිබෙන්නේ "දැඩිව හෙලා දැකිය යුතු ක්‍රියාවක්" වශයෙන් බවයි බීබීසීය පවසන්නේ. ඉන් සෞම්‍යමූර්ති තොන්ඩමන් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාවට කරන ලද සේවය නොතකා හරිනු ලැබ ඇති බව පවසන තමිල්නාඩුවේ විපක්ෂනායක ස්ටාලින්, එය වතුකරයේ වෙසෙන දෙමළ ජනතාවගේ හැඟීම්වලට අහිතකර බලපෑමක් එල්ල කරන්නක් බව ද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔහු පවසන්නේ එම ක්‍රියාව මගින් ශ්‍රී ලංකා ආණ්ඩුව වතුකරයේ දෙමළ ජනතාව "බියගැන්වීමක්" කර ඇති බවයි. එබැවින් ශ්‍රී ලංකා ආණ්ඩුව සමග සාකච්ඡා කර මේ කරුණ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීමට ක්‍රියාකරන මෙන් විපක්ෂනායකවරයා විදේශ අමාත්‍යවරියගෙන් ඉල්ලීම කර තිබෙනවා.

 "අපි මේ කරුණ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත යොමු කරනවා," යනුවෙන් ඇමතිනිය සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබෙනවා.

සෞම්‍යමූර්ති තොන්ඩමන් හිටපු අමාත්‍යවරයාගේ නම ඇතුළත් පුවරු ඉවත් කිරීමට එරෙහිව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවෝ පසුගියදා හැටන් ප්‍රදේශයේ උද්ඝෝෂණවල ද නිරතවුණා.