Wednesday, April 24, 2024

General line - 0115112241

එකවරක් චාජ් කරාම කිලෝමීටර් 1000ක් යන්න පුළුවන් - නවතම විද්‍යුත් රථ පෙළක් හඳුන්වාදෙයි (PHOTOS/VIDEOS)




අමෙරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදිත සමාගමක් වන ටෙස්ලා (Tesla) සමාගම සිය නවතම විද්‍යුත් මෝටර් රථ මාදිලි පෙළක් පසුගිය දා එළිදක්වනු ලැබුවා.

මෙහිදී වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වූ "ටෙස්ලා සෙමි ට්‍රක්" ලෙස හඳුන්වන ට්‍රක් රථයේ විශේෂත්වය වන්නේ එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු සැතපුම් 500 ක දුරක් ධාවනය කළ හැකි වීමයි.

මෙම රථය 2019 දී නිෂ්පාදනය සඳහා යොමු කිරීමට නියමිත බවයි මෙම සමාගම පවසන්නේ.

නව ට්‍රක් රථය දියත් කිරීමේ අවස්ථාවට එක්වූ පිරිස මවිතයට පත් කරමින් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් තවත් හෙළිදරව්වක් කරමින් කියා සිටියේ මෙය "එදා මෙදා තුර වේගයෙන්ම නිෂ්පාදනය කෙරුණු රථය" බවයි.

ඒ සමග මස්ක් තවත් හෙළිදරව්වක් කරද්දී විද්‍යුත් ට්‍රක් රථයේ ට්‍රේලරයෙන් පිටතට පැමිණියේ, මෝටර් රථ තරග වලට යොදා ගන්නා අධි බලැති රතු පැහැති මෝටර් රථයක්.

එම රථය එක් වරක් ආරෝපණය කළ පසු කිලෝමීටර් 1000 (සැතපුම් 620) ක දුරක් ධාවනය කල හැකි අතර මෝටර් රථය තත්පර 4.2 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ පැයට කිලෝමීටර 0 සිට 100ට වේගය වැඩි කිරීමට හැකි අයුරින් මෙය නිපදවා තිබෙනවා.

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා එලොන් මස්ක් මෙම රථය හඳුන්වා දෙන්නේ "ඉන්ධන භාවිත කරන වාහන වලට දිගු කාලීන පරාජයක්" අත්කරදීමක් ලෙසයි.

ඇමරිකාවේ ට්‍රක් රථයක ගෙන යා හැකි වැඩිම බර වන කිලෝග්රෑම් 36,287 (රාත්තල් 80,000) ක බර පටවා ගත් ටෙස්ලා සෙමි ට්‍රක් රථය තත්පර 20 දී පැයට කිලෝමීටර් 60ක වේගයක් කරා ළඟා විය හැකි වනවා.

කෙසේ වෙතත්, පසුගිය මාසයේ ටෙස්ලා සමාගමේ නිෂ්පාදනයක් වන Model 3 මෝටර් රථයට ලැබුණ ඉල්ලුම සපුරාලීමට සමාගම අපොහොසත් වීම නිසා එලොන් මස්ක් දිගින් දිගටම ආයෝජකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ විවේචනයට ලක්ව ඇති බවයි බීබීසි ලෝක සේවය වාර්තා කරන්නේ.