Saturday, April 20, 2024

General line - 0115112241

බැසිල්ගේ ලිත් නඩුවට අතුරු තහනම් නියෝගයක්




අද (24) දින විභාගයට ගැනීමට නියමිතව තිබු ,හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි ලිත් නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අද (24) අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ එම නඩුව විභාගයට නොගෙන වෙනත් විනිසුරුවරයෙක් හමුවේ එය විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අභියාචනා පෙත්සමක් ගොනුකර තිබුණා.

ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළැයි නීතිපතිවරයා විසින් එම නඩුව ගොනු කරනු ලැබුවා.

සිල් රෙදි නඩුවේ විත්තිකරුවන් වු රාජ්‍ය සේවකයින්ට සිරදඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා හමුවේ තමන්ගේ නඩුව විභාග කරනු ලැබුවහොත් තමුන්ට සාධාරණය හා යුක්තිය ඉටු නොවන බවයි බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සිය පෙත්සම මගින් පෙන්වා දුන්නේ.

ඒ අනුව අභියාචනාධිකරණය අද (24) නියම කළේ එම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු ගිහාන් කුලතුංග මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ එම නඩුව විභාගයට ගැනීම නතර කරන ලෙසයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අභියාචන පෙත්සම ලබන දෙසැම්බර් 13 විභාගයට ගැනීමට නියමිතයි.