Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවටම ගමන් කළ හැකි අලුත්ම මිසයිලය උතුරු කොරියාව උඩු ගුවනට යවයි




තවත් අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලයක් අද (29) අලූයම සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව තහවුරු කර තිබෙනවා.

මෙම මිසයිලයට අමෙරිකාව දක්වා ගමන් කළ හැකි බවයි ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ අතර උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදාබැලීම ලෝකයටම තර්ජනයක් බව අමෙරිකාව පවසනවා. එරට ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පැවසුවේ මෙය උතුරු කොරියාව මෙතෙක් අත්හදා බැලූ ප‍්‍රබලම මිසයිලය ද වන බවයි. 

මෙම මිසයිලය කිලෝමීටර් 1000ක් පමණ දුර ගමන් කර ජපාන මුහුදට පතිත වී ඇතැයි අමෙරිකාවේ ආරක්ෂක මධ්‍යස්ථානය වන පෙන්ටගනය ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් මීට පෙර උතුරු කොරියාව අත්හදා බැලූ ඇතැම් මිසයිල මෙන් මෙම මිසයිලය සිය ගොඩබිම් දේශසීමාවට ඉහළින් ගමන් නොකළ බවයි ජපානය පැවසුවේ. විනාඩි 50ක පමණ කාලයක් මිසයිලය ගුවනේ රැඳී සිට ඇතැයි ද ජපානය කියාසිටියා. 

දකුණු කොරියානු මාධ්‍ය පැවසුවේ උතුරු කොරියාවේ ප්යොන්ග්සොන්ග් ප‍්‍රදේශයේ සිට මෙම මිසයිලය ගුවනට විද ඇති බවයි.

එය උතුරු කොරියාවේ සිට නැගෙනහිර දෙසට ගමන් කර ඇතැයි ද දකුණු කොරියානු මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 

බීබීසී ලෝක සේවය පවසන්නේ උතුරු කොරියාව විසින් මෙම වසරේදී අත්හදා බලන ලද 6 වන මිසයිලය ද මෙය වන බවයි. පෙබරවාරි, මාර්තු, ජුලි අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවල දී මීට පෙර ඔවුන් මිසයිල අත්හදා බැලූවා.