Wednesday, April 24, 2024

General line - 0115112241

ආපදා අවම කරගනිමින් සුන්බුන් ඉවත් කළ හමුදාව (PHOTOS)




ගෙවීගිය දින කිහිපයේ ඇති වූ අධික සුළං සහ වැසිබර කාලගුණයෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශයන්හි තවදුරටත් ආපදා සහන සේවාවන් සිදු වනවා.

යුද හමුදාවේ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය හා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් මේ සඳහා එක්ව සිටිනවා. 

58 වන සේනාංකයේ 581 වන බළසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ කඩ්ඩුව ප්‍රදේශයේ නිල්වලා ගඟෙහි බැම්මේ ඉරිතලා යෑමක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වහා ක්‍රියාක්මක වෙමින් එය පිළිසකර කිරීමට පියවර ගත්තා.

එහිදී මීටර 20 ක් පමණ වූ බැම්මෙහි ආපදාවට ලක්වූ ප්‍රදේශය, පුරවාගත් වැලි කොට්ට යොදා දුර්වල ස්ථානයන් ශක්තිමත් කරමින් ගංගාවෙහි බැම්ම තවදුරටත් කැඩීයාම වැලැක්වීමට කටයුතු කර තිබුණා. 

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 14 වන සේනාංකයේ 142 වන බළසේනාව යටතේ ස්ථාපිත 6 වන ගැමුණු හේවා බළකායේ, 9 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ හා 10 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් රජයේ බළධාරීන් සමඟ සම්බන්ධතාවය පවත්වා ගනිමින් එම ප්‍රදේශයන්හි කඩාවැටුණු ගස්, පස් කඳු සහ විශාල ගල් ඉවත් කරන්නට පියවර ගත්තා.

කැළණිතිස්ස විදුලි බලාගාරය, මට්ටක්කුලිය, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රය, අඹතලේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රය, මාලඹේ, හෝකන්දර, මුල්ලේරියාව, දික්හේනවත්ත, මත්තේගොඩ, මහජන පුස්තකාල පරිශ්‍රය, මලලසේකර මාවත, විහාරමහාදේවි උද්‍යානය, තුන්මුල්ල හන්දිය, පාමංකඩ සහ ඒ අවට අනෙකුත් ප්‍රදේශයන්හි සුන්බුන් හා බාධක ඉවත්කොට සාමාන්‍ය තත්වයට පත්කර තිබුණා.

මේ අතර, කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිට තිබූ ඔහිය සහ දියතලාව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ කඩාවැටුණු ගස් සහ අතු ඇතුළු සුන්බුන් ඉවත්කරමින් එම මාර්ගය පිළිසකර කරදීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 7 වන ශ්‍රී ලංකා සංඥා බළකා භටපිරිස් යුහුසුළුව දායක වී තිබුණා.

යුද්ධ හමුදා භටයින් 25 දෙනෙකුගෙන් සැදුම්ලත් තවත් ආපදා සහන කණ්ඩායමක් ඔහිය උඩවේරියවත්ත ප්‍රදේශයේ ගල් හා පස්කඳු කඩාවැටීමෙන් මාර්ගය අවහිරව නායයෑමේ තර්ජනයකටද මුහුණ දී අවතැන්ව සිටි සාමන්‍ය වැසියන් පිරිසකටද එම මාර්ගය පිළිසකර කරමින් සහන සැපයීමට කටයුතු කළා.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් අයහපත් කාලගුණය හේතුවෙන් බලවත් හානියට පත්ව තිබූ දියතලාව ඇල්ලගම දකුණ ප්‍රදේශයෙහි ජල පොම්පාගාර යන්ත්‍රද ජල සම්පාදන මණ්ඩලයේ බළධාරීන් හා එක්ව පිරිසිදු කොට ප්‍රතිසංස්කරණය කර දුන්නා.