Thursday, April 25, 2024

General line - 0115112241

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලංගමයට වලංගුයි! රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි (UPDATE)

හර්ෂිකා සංජීවනි/පසන් වික්‍රමතිලක/තරංග රුක්ෂාන් ජයසේකර/




දුම්රිය වර්ජනය හේතුවෙන් අද (07) රාත්‍රී තැපැල්දුම්රිය සියල්ල අවලංගුකොට තිබෙනවා. දුම්රිය වර්ජනය අවසන් වන තෙක් වාර ප‍්‍රවේශපත‍්‍ර හිමි දුම්රිය මගීන්ට එමගින් ලංගම බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී තිබෙනවා. 

දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් සහ නියාමකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තීය සමිතිද අද මධ්‍යම රාති‍්‍රයේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, වැටුප් ගැටළු ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින්.

-----------------------------------------------------------

සාකච්ඡා අසාර්ථකයි දුම්රිය වර්ජනය තවදුරටත්

07-12-2017 16:01

ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් තවදුරටත් වර්ජනය කි‍්‍රයාත්මක කිරීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ප‍්‍රවාහන අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට නිසි පිළිතුරක් නොලැබුණු බවයි එම සංගමය ප‍්‍රකාශ කළේ.

මෙහිදී ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ජී එස් විතානගේ සදහන් කර ඇත්තේ පොදු මහජනතාවට සිදුවන අපහසුතාවන් සලකා බලා මෙම වර්ජනය අත්හරින ලෙසයි. වැඩවර්ජනය හේතුවෙන් කාර්යාලීය දුම්රියවලින් සියයට 50 ක් පමණ අද (07) පස්වරුවේ ධාවනය කෙරුණුු ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ පැවසුවේ.

ඒ අනුව අද පස්වරුවේ ප‍්‍රධාන මාර්ගයේ හා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 03 බැගින් ධාවනය කෙරෙනු ඇති. කැළණිවැලි දුම්රිය මාර්ගයේ හා පුත්තලම දුම්රිය මාර්ගයේ එක් දුම්රිය බැගින් අද පස්වරුවේ ධාවනය කිරීමට නියමිතයි.

-------------------------------------------------------------

දුම්රිය වර්ජනයෙන් මගීන් එල්ලේ

07-12-2017 10:01

එන්ජින් රියදුරන්ගේ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට මේ වනවිටත් බාධා සිදුව තිබෙනවා.

කොළඹින් බැහැර ප‍්‍රදේශවල සිට කොළඹට ධාවනය වන කාර්යාලීය දුම්රිය අද (07) මේ දක්වා ධාවනය කෙරුණේ සියයට 50ක් පමණ බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

කොළඹ සිට පිට පළාත්වලට ධාවනය වන බොහෝ දුම්රිය ද අවලංගු වී තිබෙනවා.

ධාවනය වන දුම්රියන්හි මගීන් වෙනදාට වැඩි පිරිසක් පැමිණෙන බවයි නිරීක්ෂණ චාරිකාවන්හි යෙදුණු නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

මේ අතර වැඩවර්ජනයේ නිරත වන දුම්රිය එන්ජින් රියදුරන් සඳහා ප‍්‍රවාහන අමාත්‍යංශය සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.

ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ජී. එස්. විතානගේ සහ දුම්රිය සාමාන්‍යාධිකාරී මහනාම අබේවික‍්‍රමගේ සහභාගීත්වයෙන් දහවල් 12.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳ වැඩවර්ජනය මෙහෙයවන වෘත්තීය සමිතිවලට දැනටමත් දැනුම් දී ඇතැයි ද ප‍්‍රවාහන අමාත්‍යංශය පැවසුවා. 

-------------------------------

දුම්රිය එන්ජින් රියදුරන් මේ වන විට වැඩවර්ජනයේ

(07-12-2017 06:00)

 

දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් මේ වනවිට වැඩවර්ජනයක යෙදී සිටිනවා.

මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ ඊයේ (06) මධ්‍යම රාත‍්‍රියේ සිටයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය විසින් වැඩවර්ජනය කැඳවා තිබෙනවා.

නිසි පටිපාටියෙන් බැහැරව සිදු කෙරෙන බව කියන නව බඳවා ගැනීම් සඳහා විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය කැඳවූ බවයි එහි ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ. 

දුම්රිය එන්ජින් රියදුරන්ගේ මෙම වැඩවර්ජනය නිසා දුම්රිය ධාවනයට අද (07) බාධා සිදුවිය හැකියි. අද දුම්රිය ධාවනය වන්නේ ද නැද්ද යන්න ගැන තහවුරු කළ තොරතුරු නොමැතිදැයි නෙත් නිවුස් වෙත දුරකතනයෙන් කතා කළ ශ‍්‍රාවකයින් කිහිප දෙනෙකු ද විමසීමක් කළා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියෙන් ද විමසීමක් කළා. ඔවුන් පැවසුවේ සේවයට වාර්තා කරන එන්ජින් රියදුරන් සමග සාකච්ඡා කර දුම්රිය කිහිපයක් හෝ ධාවනය කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් එලෙස ධාවනය කෙරෙන්නේ කුමන දුම්රියදැයි දැන්ම කිව නොහැකි බවද දුම්රිය පාලක මැදිරිය පැවසුවා. 
 

---------------------------

දුම්රිය වර්ජනය ස්ථිරයි ලු

(06-12-2017 12:45)

(තරංග රුක්ෂාන් ජයසේකර)

 

නියමිත පරිදි අද මධ්‍යම රාති‍්‍රයේ සිට වර්ජනය කි‍්‍රයාත්මක කරන බව දුම්රිය රියදුරන් පවසනවා. දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියාසිටියේ තම ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නොමැති බවයි.

වර්ජනය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් නොකළේ මන් දැයි නෙත් නිවුස් දුම්රිය එන්ජින් රියදුරු සංගමයෙන් විමසීමක් කළා. එහි ලේකම් ඉන්දික දොඩංගොඩ සදහන් කළේ වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කළ බවයි.


-----------------------------------------

අද කෙරෙන දුම්රිය වර්ජනය ගැන දෙපාර්තමේන්තුව කියන කතාව

(06-12-2017 06:08)

 

අද (06) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක කරන බව පැවසෙන දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් කිසිවක් නොදැන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ සඳහන් කළේ වර්ජනය සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

වර්ජනය පිළිබඳ මාධ්‍යයට තොරතුරු දැනුම් දුන්නද දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් නිල ප‍්‍රකාශයක් සිදුකළ නොහැකි බවද ඔහු කියාසිටියා.

කෙසේවෙතත් රටේ අයහපත් කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවේ මෙවැනි වර්ජනයක් සිදුකිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ පැවසුවේ. 

එහෙත් අද මධ්‍යම රාති‍්‍රයේ සිට අඛණ්ඩව වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියදුරන් පවසනවා. එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ දුම්රිය රියදුරු සහායකයින් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයට විරෝධය පළ කරමින් වර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි.