Saturday, April 20, 2024

General line - 0115112241

රුපියල් 75 ට පොල් නොදුන්නොත් වැඩ වරදියි (UPDATE)




නියම කර ඇති පාලන මිලට වඩා වැඩි මිලට පොල්, කරවල සහ පරිප්පු අලෙවි කරන්නන් සොයා ලබන සෙනසුරාදා සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ දක්වා වූ කාලය වෙළඳුන්ට තොරතුරු දැන ගැනීමට සහ සූදානම් වීමට ලබාදෙන බවයි නෙත් නිවුස් කළ විමසීමක දී එහි සභාපති හසිත තිලකරත්න කියා සිටියේ. 

පොල්, කරවල සහ පරිප්පු සඳහා පාලන මිලක් නියම කෙරුණු අතිවිශේෂ ගැසට් පත‍්‍රය ඊයේ (06) රාත‍්‍රියේ නිකුත් කෙරුණා.

ඊට අනුව පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75ක්. කට්ටා කරවල සඳහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් 01ක් රුපියල් දහසක් ද, සාලයා කරවල සඳහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් 01ක් රුපියල් 425ක් ද වනවා. මයිසූර් පරිප්පු කිලෝග‍්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 130ක්. 

ඉකුත් මාස කිහිපයේ පටන් වෙළඳපොළ තුළ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ අතර එහිදී කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් පවා අලෙවි කෙරුණේ රුපියල් 95ත් 100ත් අතර මිලකටයි. 

----------------------------------

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ගැසට් පත්‍රය මෙන්න

(07-12-2017 08:40)

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පැනවූ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

(එය පහතින් දැක්වෙයි)

---------------------------

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

(06-12-2017 10:01)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොල්, පරිප්පු, කරවල සඳහා මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි සඳහන් කෙරුණේ.

අදාළ නියමයන් අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ලෙසත් පරිප්පු කිලෝ එකක මිල රුපියල් 130ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. 

මෙම ආහාර ද්‍රව්‍යවල උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට් නිවේදනය අද (06) නිකුත් කෙරෙන බවද සඳහන් .