Saturday, April 20, 2024

General line - 0115112241

පොලිස් දැලේ පැටළුණු තරුණ කාන්තාව සැමියා සහ ඔහුගේ සොහොයුරා සමග කලක් තිස්සේ කළ ජාවාරම හෙළි කරයි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




විවිධ රෝගාබාධ ඇති පුද්ගලයන් හට ප්‍රතිකාර ලබාගැනීම සඳහා යැයි පවසමින් මගී ප්‍රවාහන බස් රථ තුළ ව්‍යාජ ලෙස මුදල් එකතු කරන අතරතුර මගීන්ගේ මුදල් පසුම්බි සොරාගන්නා තරුණ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්තොට හා කුට්ටිගල පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.

අම්බලන්තොට නුගසෙවන ප්‍රද්ශයේ පදිංචි කාන්තාවකගේ මුදල් පසුම්බිය ඊයේ (06)  දහවල් මාතර සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයකදී නෝනාගම ප්‍රදේශයට ආසන්නයේදී නැති වී ඇති අතර එහිදී බස් රථයේ මුදල් එකතු කළ පුද්ගලයින් දෙදෙනකු ගැන සැක සිතී තිබෙනවා.

ඒ පිළිබඳව කුට්ටිගල පොලිසියට එම මොහොතේම දන්වා තිබෙන අතර අනතුරුව කුට්ටිගල පොලිස් නිලධාරින් හා මුදල් පසුම්බිය හිමිකාරිනියගේ ඥාතින් එක්ව අදාළ ජාවාරම්කරුගේ විහාරගම කුට්ටිගල ප්‍රදේශයේ නිවස සොයාගෙන ගොස් තිබෙනවා.

එහිදී අදාල ජාවාරම්කරු නිවසින් පලාගොස් ඇති අතර සොරාගත් මුදල් පසුබිය සැඟවීමට සුදානම් වූ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැණුනා.

කෑගල්ල, යටියන්තොට ප්‍රද්ශයේ පිළිකාවකින් පීඩාවිඳින තම පියාට ප්‍රතිකාර ගැනීමට මෙන්ම ආබාධිත දරුවාට ප්‍රතිකාර ලබා ගැනීමට බව පවසමින් පොලිස් අත්අඩංගුවට පත් වයස අවුරුදු 20ක පමණ අදාළ කාන්තාවගේ සැමියා හා ඔහුගේ සොහොයුරෙකු කලක් තිස්සේ මෙම ජාවරාම සිදුකර තිබෙනවා.

අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී නිවස තුළ සඟවා තිබු විවිධ ප්‍රදේශයන්ට අයත් රෝගී දරුවන්ගේ හා පුද්ගලයින්ගේ ඡායාරූප සහ වෛද්‍ය  වාර්තා ඇතුළත් ලිපි ලේඛන සොයා ගැනීමට හැකි වී ඇති බවද සඳහන්.

ඒ අතර පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ, විශේෂඥ වෛද්‍යවරයෙකුගේ, සහ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද ලිපි කීපයක් ද ඇතුළත් වී තිබෙනවා.