Thursday, April 18, 2024

General line - 0115112241

සොහොනට ගෙනයද්දී පණ ආ දරුවා මියයයි




උපත ලැබූ අවස්ථාවේ මිය ගියේ යයි ඉන්දියාවේ දිල්ලි අගනුවර රෝහලක වෛද්‍යවරුන් විසින් වැරදි ලෙස නිගමනය කරන ලද බිලිඳා වෙනත් රෝහලකදී මිය ගොස් තිබෙනවා. මෙම බිළිඳා අඩුවයසින් ඉපදී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. නිවුන් දරුවන් ගෙන් අයෙකු වූ  අනෙක් දරුවාද මියගොස් තිබෙනවා.

මියගිය බවට වෛද්‍යවරුන් නිගමනය කිරීමෙන් අනතුරුව අවමංගල්‍ය උත්සවය සඳහා රැගෙන යන අතරවාරයේ දරුවා ජීවතුන් අතර සිටින බව දෙමාපියන් දැක තිබෙනවා. ඒ දරුවාගේ සිරුර බහාලූ බෑගය සෙලවෙන බව දැකීමෙන්ය. ඉන් කම්පනයට පත් වූ දෙමාපියන් වහාම දරුවා අසල රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණා.

දරුවා ජීවතුන් අතර සිටියදීම 'මිය ගිය' බවට නිගමනය කළ මැක්ස් රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා තුරු දෙවෙනි දරුවාගේ දේහය නිවසට රැගෙන නොයන බව දරුවන්ගේ පියා අනතුරුව පවසා තිබෙනවා.

මූලික පරීක්ෂණවලින් අනතුරුව පසුගිය ඉරිදා වෛද්‍යවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරුණු අතර, දෙවෙනි බිලිඳාත් මිය ගිය බව වාර්තා වීමෙන් අනතුරුව මැක්ස් රෝහල දෙමාපියන් වෙත සිය ශෝකය පළකර තිබුණා. ඉන්දීය ආණ්ඩුව ද සිදුවීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වමින් සිටිනවා.

මෙම සිදුවීමට හේතුව වෛද්‍යවරුන්ගේ නොසලකා හැරීම බව පරීක්ෂණයේ දී නිගමනය කෙරුණහොත් රෝහලේ බලපත්‍රය අවලංගු කිරීමට ඉඩ තිබෙන බව දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවා.