Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට කඩුළු 7ක ජයක් (UPDATE)(PHOTOS)

කසුන් කැලුම්




ඉන්දියාව සමග පැවැති පළමු එක්දින ක‍්‍රිකට් තරගයේ ලකුණු 113ක ඉලක්කයක් හඹා ගිය  ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 7කින් ජයග්‍රහණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමි කඩුලූ 3 ක් දැවී ලකුණු 114ක් ලබා ගත්තා.

පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක  එක් ලකුණකට දැවී ගියා. ලහිරු තිරිමාන්න දැවී ගියේ කිසිඳු ලකුණක් ලබා ගැනිමට පෙරයි. උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල මීට පෙර තරගවලදී ශ‍්‍රී ලංකා ඉණිම ආරමභ කළ ද අද එය වෙනස් වුණා.

--------------------

ශ්‍රී ලංකාවට ලකුණු 113ක ඉලක්කයක් (10-12-2017 15:00)

 

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක‍්‍රිකට් තරගයේ ඉන්දිය ඉණිම ලකුණු 112කට මීට නොබෝ වේලාවකට පෙර සීමා වුණා.

ඉන්දිය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 65ක් රැස් කළා. ප‍්‍රදිප් පාණ්ඩ්‍යා ලකුණු 10යි.

කුල්දිත් යාදේව් ලකුණු 19කට දැවී ගියා. අනෙක් කිසිදු ඉන්දිය ක‍්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 13කට කඩුලූ 4ක් සහ නුවන් ප‍්‍රදීප් ලකුණු 37කට කඩුලූ 3ක් දවා ගත්තා.

ඇන්ජලෝ මැතිව්ස්, අකිල ධනංජය, සචිත් පතිරණ සහ නායක තිසර පෙරේරා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. ලකුණු 113ක ඉලක්කයක් හඹා යහාම සහා ශ‍්‍රි ලංකා ආරම්භක පිතිකරුවන් යුගල පිටියට පිවිසීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ ධරම්සාලාහි හිමාචල් ප‍්‍රදේශ් ක‍්‍රිකට් සංගම් ක‍්‍රීඩාංගණයේදියි.

------------------

ඉන්දියාව අසීරු අඩියක (10-12-2017 13:30)

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග දැන් පැවැත්වෙන පළමු එක්දින ක‍්‍රිකට් තරගයේදි ඉන්දිය කණ්ඩායම දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.  ඉන්දිය ඉණිමේ මුල් කඩුලූ 7 බිඳ වැටුණේ ලකුණු  29ක් තුළයි. එක්දින තරගයකදී ඉන්දීය ඉනිමක අඩුම ලකුණු සංඛ්‍යාවක් තුළදී කඩුලූ 7ක් බිඳ වැටුණු පළමු අවස්ථාව මෙය වනවා. 

 

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වනවිට පැවැත්වෙනවා. පන්දුවාර 16ක් අවසානයේ කඩුලූ 06ක් දැවී ලකුණු 28ක් ලබා සිටියා. ඉන්දීය ඉණිමේ පළමු කඩුලූ 03 බිඳ වැටුණේ ලකුණු 08ක් තුළයි. ඉන්දීය ඉණිමේ පළමු පන්දුවාර 03, සටහන් වුණේ නිලකුණු පන්දුවාර ලෙසයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු ලබා ගැනීමට වැඩිම පන්දු සංඛ්‍යාවක් වැය කළ අවස්ථාව ලෙස මෙම තරගය වාර්තා පොත් අතරට එක්වුණා. සුරංග ලක්මාල් කඩුලූ 03ක් සහ ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ලක් දවා ගත්තා. 
 

----------------------------------------------

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

10-12-2017 11:06

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. එහි කාසියේ වාසිය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබෙනවා.

තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සචිත් පතිරණ, සුරංග ලක්මාල්, අකිල ධනංජය සහ නුවන් ප්‍රදීප් කණ්ඩායමට ඇතුළත් වනවා.

--------------------------------------------------------------------

එක්දින පරාජ රැල්ලට තිත තබන්න ශී‍්‍ර ලංකා පිලට අද අවස්ථාවක්!

10-12-2017 06:46

ශ්‍රී ලංකාව හා ඉදියාව අතර ආරම්භවන එක්දින තරගාවලියේ පළමු තරගය අද (10) පැවැත්වෙන ධර්මසාලා හි හිමාචල් කි‍්‍රකට් සංගම් කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකාව එක්දින තරගයකට එක්වන්නේ පළමු වරටයි. දැඩි ශීත කාලගුණයක් පවතින මෙම කී‍්‍රඩාංගණයේදී ඉන්දීය කණ්ඩායම එක්දින තරග 3කට කී‍්‍රඩා කරමින් තරග 2ක් ජය ගෙන එක් තරගයක් පරාජයට පත්වී තිබෙනවා.

අදින් ඇරඹෙන එක්දින තරගාවලියට දෙපිලම පිවිසෙන්නේ නව නායකයන් දෙදෙනකු යටතේයි. ඉන්දීය නිත්‍ය නායක විරාත් කෝලි විවේක ගැන්වීම හේතුවෙන් රෝහිත් ෂර්මා මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායමට තිසර පෙරේරා නායකත්වය ලබා දෙන අතර ඔහු ශී‍්‍ර ලංකා එක්දින නායකත්වයට පත් 22 වන කී‍්‍රඩකයාද වනවා. තුන් ඉරියව් කී‍්‍රඩක අසේල ගුණරත්න සහ ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා යළි එක්වීම ශී‍්‍ර ලංකා පිලට මහත් අස්වැසිල්ලක් වනු ඇති.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ එක්දින තරග 12ම පරාජයට පත්ව ඇති බැවින් අද තරගයේදී එක්දින පරාජයන් රැල්ලට ශී‍්‍ර ලංකා පිල තිත තබන්නට වෙර දරනවාට කිසිදු සැකයක් නැහැග ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම වසරේදී සහභාගි වූ එක්දින තරග 26න් 21ක්ම පරාජයට පත්ව තිබෙනවා. ඉන්දියාව මෙම වසරේදී එක්දින තරග 26කට සහභාගි වී ඇති අතර ඉන් තරග 19ක් ජය ගන්නට ඔවුන් සමත් වුණා. ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ එක්දින තරගාවලි 6න් 5ක්ම පරාජය වී ඇති අතර එක් තරගාවලියක් අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

ඉන්දීය කණ්ඩායම මේ වන විට අන්තර් ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 2වන ස්ථානයේයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම එහි අට වැනි ස්ථානයට හිමිකම් කියනවා. එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ පළමු විසිදෙනා අතර ඉන්දීය පිතිකරුවන් සිවුදෙනෙකුම සිටියත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකරුවන් පළමු විසිදෙනා අතරට පැමිණිමට මෙතෙක් සමත් වී නැහැ. එක්දින පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම්වලද ඉන්දීය පන්දු යවන්නන් තුන්දෙනෙකු සිටිනවා. එම සටහනේද පළමු විසිදෙනා අතර කිසිදු  ශී‍්‍ර ලාංකික පන්දු යවන්නෙකු නොසිටීමද විශේෂත්වයක්.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා එක්දින තරග 155ක් පවත්වා තිබෙනවාග ඉන් තරග 88ක් ඉන්දීය කණ්ඩායම ජය ගත් අතර තරග 55ක් ශී‍්‍ර ලංකා කණ්ඩායම ජය ගත්තා. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන්දියාවේදී මේ දක්වා එක්දින තරග 72කට කී‍්‍රඩා කර තිබෙනවාග ඉන් ශී‍්‍ර ලංකාව ජය ගැනීමට සමත්ව ඇත්තේ එක්දින තරග 23ක් පමණයි. එක්දින තරග 46ක් ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන්දියාවේදී පරාජයට පත්වෙලා තිබෙනවා. ශී‍්‍ර ලංකාව සහ ඉන්දීය කණ්ඩායම සමග ඉන්දීයාවේදී එක්දින තරග 48කට කී‍්‍රඩා කරමින් තරග 11ක් ජය ගැනීමට සමත් වී තිබෙනවා. ඉන්දියාව ශී‍්‍ර ලංකාවට එරෙහිව සිය මවුබිමේදී එක්දින තරග 34ක් ජයග‍්‍රහණය කර තිබෙනවා.