Friday, April 19, 2024

General line - 0115112241

දුම්රිය ගැටලූ විසඳන්න කැබිනට් අනුකාරක සභාවක්

ඩිල්ෂාන් මඩවල




වැඩ වර්ජනයක නිරත දුම්රිය වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පිළිබ සළකා බලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙනවා.

, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන්.

රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.

කෙසේ වෙතත් සිය වැඩවර්ජනය තවදුරටත් සිදු කරන බවයි දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ.

 

කෙසේ වෙතත් කොළඹ අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදී දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පැවසුවේ පත් කර ඇති මෙම කැබිනට් අනුකාරක සභාව පිළිගත නොහැකි බවයි.

එහි සම කැවුම්කරු එස්.පී.විතානගේ කියා සිටියේ තමන්ගේ ගැටළු කිඩිනමින් විසඳිය යුත් බවයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස කරුණු දැක්වුව ද දුම්රිය වෘත්තිය සමිති සන්ධානය මේ වනවිට සිදු කරන වැඩවර්ජනයට සක‍්‍රීයව දායක වී නැහැ.

වර්ජනයේ නිරත වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් තමන්ට ඍජුව අදාළ නොවන බවයි ඔවුන් කියා සිටියේ. කෙසේවෙතත් වැඩවර්ජනය සාධාරණ බවද අවශ්‍ය වුවහොත් ඉදිරියේදී තමන් ද ඊට සක‍්‍රීයව දායක වන බවද ඔවුන් පැවසුවා.

මේ අතර, ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පැවසුවේ පත් කර ඇති කැබිනට් අනුකාරක සභාව සමග රාජ්‍ය නිලධාරින්ගෙන් සැදුම්ලත් කොමිෂන් සභාවක් ද එක්ව කටයුතු කරන බවයි.

මෙම කරුණු සැළකිල්ලට ගෙන වැඩවර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන්නැයි වර්ජනයේ නිරත වෘත්තිය සමිතිවලින් අමාත්‍යවරයා නැවත ඉල්ලීමක් ද කළා.

 

දුම්රිය සේවය මේ වනවිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇතැයි ද මෙහිදී නැවත සිහිපත් කෙරුණා.

එහි කොන්දේසිවලට අනුව, අද (12) මධ්‍යම රාති‍්‍රය දක්වාත් සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය අතහැරගියා සේ සලකා හෙට (13) සිට ලිපි නිකුත් කරන බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ පැවසුවේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (12) කළ ඉල්ලීමකට අනුව, විශ‍්‍රාමික දුම්රිය සේවකයන් බොහෝ දෙනෙකු සේවයට වාර්තා කර ඇතැයි ද ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට දැනටමත් පත්වීම් ලබා දී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

සේවයට වාර්තා කරන විශ‍්‍රාමික දුම්රිය සේවකයන් සහ වෙනත් විකල්ප සේවකයන් යොදා ගනිමින් උපරිම දුම්රිය ගණනක් ධාවනය කිරීමට උත්සාහ කරන බවද දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, වැඩවර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ සිය ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් තවමත් ලැබී නොමැති බවයි.

එවැනි යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන තෙක් සේවයට වාර්තා නොකරන බවද ඔවුන් පැවසුවා.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව අද (12) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සානුකම්පිත පදනම මත සිය සාමාජිකයන් කිහිප දෙනෙකු ද සේවයට යොදවා ඇතැයි වැඩවර්ජනයේ නිරත වෘත්තිය සමිති කරන ප‍්‍රකාශ සත්‍යයෙන් තොර බවයි.

මෙම වෘත්තිය සමිති විසින් සේවයට වාර්තා කර සිටින සේවකයන්ට සේවයෙන් ඉවත් වන ලෙස බලපෑම් කරමින් සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.